පින්වත් මහණෙනි, කර්මයන්ගේ හටගැනීම පිණිස හේතු වෙන කාරණා තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? ලෝභය යනු කර්මයන්ගේ හටගැනීමට හේතුකාරකයක්. ද්වේෂය යනු කර්මයන්ගේ හටගැනීමට හේතුකාරකයක්. මෝහය යනු කර්මයන්ගේ හටගැනීමට හේතුකාරකයක්.
පින්වත් මහණෙනි, ලෝභය විසින් කරන ලද, ලෝභයෙන් උපන්, ලෝභය පදනම් කොටගෙන, ලෝභයෙන් හටගත්තා වූ යම් කර්මයක් ඇද්ද, ඒ කර්මය අකුසලයක්. ඒ කර්මය වැරදියි. ඒ කර්මය දුක් විපාක සහිතයි. ඒ කර්මය තවත් එබඳු කර්ම හටගැනීම පිණිසයි හේතු වෙන්නේ. ඒ කර්මය කර්ම නිරුද්ධ වීම පිණිස පවතින්නේ නෑ.
පින්වත් මහණෙනි, ද්වේෂය විසින් කරන ලද යම් කර්මයක් ඇද්ද, …. (පෙ) …. පින්වත් මහණෙනි, මෝහය විසින් කරන ලද, මෝහයෙන් උපන්, මෝහය පදනම් කොටගෙන, මෝහයෙන් හටගත්තා වූ යම් කර්මයක් ඇද්ද, ඒ කර්මය අකුසලයක්. ඒ කර්මය වැරදියි. ඒ කර්මය දුක් විපාක සහිතයි. ඒ කර්මය තවත් එබඳු කර්ම හටගැනීම පිණිසයි හේතු වෙන්නේ. ඒ කර්මය කර්ම නිරුද්ධ වීම පිණිස පවතින්නේ නෑ.
පින්වත් මහණෙනි, කර්මයන්ගේ හටගැනීම පිණිස හේතු වෙන කාරණා තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? අලෝභය යනු කර්මයන්ගේ හටගැනීමට හේතුකාරකයක්. අද්වේෂය යනු කර්මයන්ගේ හටගැනීමට හේතුකාරකයක්. අමෝහය යනු කර්මයන්ගේ හටගැනීමට හේතුකාරකයක්.
පින්වත් මහණෙනි, අලෝභය විසින් කරන ලද, අලෝභයෙන් උපන්, අලෝභය පදනම් කොටගෙන, අලෝභයෙන් හටගත්තා වූ යම් කර්මයක් ඇද්ද, ඒ කර්මය කුසලයක්. ඒ කර්මය නිවැරදියි. ඒ කර්මය සැප විපාක සහිතයි. ඒ කර්මය කර්ම නිරුද්ධ වීම පිණිසයි පවතින්නේ. ඒ කර්මය තවත් එබඳු කර්ම හටගැනීම පිණිස හේතු වෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, අද්වේෂය විසින් කරන ලද යම් කර්මයක් ඇද්ද, ….(පෙ)…. පින්වත් මහණෙනි, අමෝහය විසින් කරන ලද, අමෝහයෙන් උපන්, අමෝහය පදනම් කොටගෙන, අමෝහයෙන් හටගත්තා වූ යම් කර්මයක් ඇද්ද, ඒ කර්මය කුසලයක්. ඒ කර්මය නිවැරදියි. ඒ කර්මය සැප විපාක සහිතයි. ඒ කර්මය කර්ම නිරුද්ධ වීම පිණිසයි පවතින්නේ. ඒ කර්මය තවත් එබඳු කර්ම හටගැනීම පිණිස හේතු වෙන්නේ නෑ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M