අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.4.6.

36. පින්වත් මහණෙනි, අඩමසක් පාසා මේ එකසිය පනහකට වැඩි වූ ශික්ෂාපද ප්‍රමාණයක් උදෙසීමට (නැවත පෙන්වා මතක් කරදෙමින්, ඒවා සමාදන් වී සිටින බව සිහිපත් කරවීමට) පැමිණෙනවා නෙව. ඉතින් තම යහපත කැමැති කුලපුත්‍රයන් ඔය ශික්ෂාපදවල හික්මෙනවා. පින්වත් මහණෙනි, යම් තැනක මේ සියල්ලම එකට එකතු වෙනවා නම්, මේ ශික්ෂාවන් තුනක් තියෙනවා. කවර තුනක්ද? අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා හා අධිප්‍රඥා ශික්ෂාවයි. පින්වත් මහණෙනි, යම් තැනක මේ සියල්ලම එකට එකතු වෙනවා නම්, ඒ මේ ශික්ෂාවන් තුනයි.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ශික්ෂාපද තුළ පිරිපුන් කරමින් ඉන්නවා. නමුත් සමාධිය තුළ තම පමණටයි කරගනිමින් ඉන්නේ. ප්‍රඥාව තුළත් තම පමණටයි කරගනිමින් ඉන්නේ. ඉතින් ඒ භික්ෂුව යම් ඒ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද ඇත්නම්, ඒ ශික්ෂාපද කැඩීමකටත් ලක්වෙනවා. නැවත එයින් නැගී සිටීමකුත් වෙනවා. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, මා විසින් ඛුද්දානුඛුද්දක ශික්ෂාපද කඩවීම හා ඉන් නැගිටීම ගැන නිවන් අවබෝධයට නුසුදුසුකමක් වශයෙන් කියල නෑ. පින්වත් මහණෙනි, යම් මේ ශික්ෂාපද නිවන් මගට මූලිකව පිහිටනවා නම්, නිවන් මගටම සරිලනවා නම්, එහිලා නොවෙනස්ව පිහිටනවා. පිහිටලා ඉන්නවා. ඒ ශික්ෂාපදවල සමාදන්ව හික්මෙනවා. ඔහු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු නියත වශයෙන්ම නිවන් අවබෝධ කිරීම පිහිට කරගත්, සෝවාන් කෙනෙක් වෙනවා.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ශික්ෂාපද තුළ පිරිපුන් කරමින් ඉන්නවා. නමුත් සමාධිය තුළ තම පමණටයි කරගනිමින් ඉන්නේ. ප්‍රඥාව තුළත් තම පමණටයි කරගනිමින් ඉන්නේ. ඉතින් ඒ භික්ෂුව යම් ඒ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද ඇත්නම්, ඒ ශික්ෂාපද කැඩීමකටත් ලක්වෙනවා. නැවත එයින් නැගී සිටීමකුත් වෙනවා. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, මා විසින් ඛුද්දානුඛුද්දක ශික්ෂාපද කඩවීම හා ඉන් නැගිටීම ගැන නිවන් අවබෝධයට නුසුදුසුකමක් වශයෙන් කියල නෑ. පින්වත් මහණෙනි, යම් මේ ශික්ෂාපද නිවන් මගට මූලිකව පිහිටනවා නම්, නිවන් මගටම සරිලනවා නම්, එහිලා නොවෙනස්ව පිහිටනවා. පිහිටලා ඉන්නවා. ඒ ශික්ෂාපදවල සමාදන්ව හික්මෙනවා. ඔහු සංයෝජන තුනක් ක්ෂය කළා මෙන්ම, රාග ද්වේෂ මෝහයන් තුනීබවට පත්කිරීමෙන් සකදාගාමී වෙනවා. එක්වරක් පමණක් මේ ලෝකයට පැමිණ දුක් අවසන් කරනවා.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ශික්ෂාපද තුළ පිරිපුන් කරමින් ඉන්නවා. ඒ වගේම සමාධිය තුළත් පිරිපුන් කරමින් ඉන්නවා. ප්‍රඥාව තුළත් තම පමණටයි කරගනිමින් ඉන්නේ. ඉතින් ඒ භික්ෂුව යම් ඒ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද ඇත්නම්, ඒ ශික්ෂාපද කැඩීමකටත් ලක්වෙනවා. නැවත එයින් නැගී සිටීමකුත් වෙනවා. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, මා විසින් ඛුද්දානුඛුද්දක ශික්ෂාපද කඩවීම හා ඉන් නැගිටීම ගැන නිවන් අවබෝධයට නුසුදුසුකමක් වශයෙන් කියල නෑ. පින්වත් මහණෙනි, යම් මේ ශික්ෂාපද නිවන් මගට මූලිකව පිහිටනවා නම්, නිවන් මගටම සරිලනවා නම්, එහිලා නොවෙනස්ව පිහිටනවා. පිහිටලා ඉන්නවා. ඒ ශික්ෂාපදවල සමාදන්ව හික්මෙනවා. ඔහු

ඕරම්භාගීය සංයෝජන පහ (සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ) ක්ෂය කිරීමෙන්, ඕපපාතිකව සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි උපදිනවා. ඒ ලෝකයෙන් පහළට නොඑන ස්වභාවයෙන් යුතුව එහිදීම පිරිනිවන් පානවා.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ශික්ෂාපද තුළ පිරිපුන් කරමින් ඉන්නවා. ඒ වගේම සමාධිය තුළත් පිරිපුන් කරමින් ඉන්නවා. ඒ වගේම ප්‍රඥාව තුළත් පිරිපුන් කරමින් ඉන්නවා. ඉතින් ඒ භික්ෂුව යම් ඒ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද ඇත්නම්, ඒ ශික්ෂාපද කැඩීමකටත් ලක්වෙනවා. නැවත එයින් නැගී සිටීමකුත් වෙනවා. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, මා විසින් ඛුද්දානුඛුද්දක ශික්ෂාපද කඩවීම හා ඉන් නැගිටීම ගැන රහතන් වහන්සේට නුසුදුසුකමක් වශයෙන් කියල නෑ. පින්වත් මහණෙනි, යම් මේ ශික්ෂාපද නිවන් මගට මූලිකව පිහිටනවා නම්, නිවන් මගටම සරිලනවා නම්, එහිලා නොවෙනස්ව පිහිටනවා. පිහිටලා ඉන්නවා. ඒ ශික්ෂාපදවල සමාදන්ව හික්මෙනවා. ඔහු ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමා තුළ උපදවාගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා.

පින්වත් මහණෙනි, මේ ආකාරයට කොටසක් සම්පූර්ණ කරන කෙනා, මාර්ගඵල අවබෝධයෙනුත් කොටසක් ලබනවා. සීල, සමාධි, ප්‍රඥා යන තුනම පරිපූර්ණ කරන කෙනා මාර්ගඵලත් පරිපූර්ණ කරගන්නවා. පින්වත් මහණෙනි, මේ ශික්ෂාපද වඳ (ප්‍රතිඵල රහිත) නැහැ කියලයි මා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M