අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.4.7.

37. පින්වත් මහණෙනි, අඩමසක් පාසා මේ එකසිය පනහකට වැඩි වූ ශික්ෂාපද ප්‍රමාණයක් උදෙසීමට (නැවත පෙන්වා මතක් කරදෙමින්, ඒවා සමාදන් වී සිටින බව සිහිපත් කරවීමට) පැමිණෙනවා නෙව. ඉතින් තම යහපත කැමැති කුලපුත්‍රයන් ඔය ශික්ෂාපදවල හික්මෙනවා. පින්වත් මහණෙනි, යම් තැනක මේ සියල්ලම එකට එකතු වෙනවා නම්, මේ ශික්ෂාවන් තුනක් තියෙනවා. කවර තුනක්ද? අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා හා අධිප්‍රඥා ශික්ෂාවයි. පින්වත් මහණෙනි, යම් තැනක මේ සියල්ලම එකට එකතු වෙනවා නම්, ඒ මේ ශික්ෂාවන් තුනයි.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ශික්ෂාපද තුළ පිරිපුන් කරමින් ඉන්නවා. නමුත් සමාධිය තුළ තම පමණටයි කරගනිමින් ඉන්නේ. ප්‍රඥාව තුළත් තම පමණටයි කරගනිමින් ඉන්නේ. ඉතින් ඒ භික්ෂුව යම් ඒ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද ඇත්නම්, ඒ ශික්ෂාපද කැඩීමකටත් ලක්වෙනවා. නැවත එයින් නැගී සිටීමකුත් වෙනවා. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, මා විසින් ඛුද්දානුඛුද්දක ශික්ෂාපද කඩවීම හා ඉන් නැගිටීම ගැන නිවන් අවබෝධයට නුසුදුසුකමක් වශයෙන් කියල නෑ. පින්වත් මහණෙනි, යම් මේ ශික්ෂාපද නිවන් මගට මූලිකව පිහිටනවා නම්, නිවන් මගටම සරිලනවා නම්, එහිලා නොවෙනස්ව පිහිටනවා. පිහිටලා ඉන්නවා. ඒ ශික්ෂාපදවල සමාදන්ව හික්මෙනවා.

ඔහු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් උපරිම වශයෙන් සත් වතාවක් උපදින ‘සත්තක්ඛත්තුපරම’ කෙනෙක් බවට පත්වෙනවා. උපරිම වශයෙන් සත් වතාවක් දෙවියන් අතරත්, මිනිසුන් අතරත් ගමන් කොට, සැරිසරා දුක් කෙළවර කරනවා.

ඔහු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් ආත්මභාව දෙක තුනක් උපදින ‘කෝලංකෝල’ කෙනෙක් වෙනවා. ආත්මභාව දෙකක් හෝ තුනක් හෝ ගමන් කොට, සැරිසරා දුක් කෙළවර කරනවා.

ඔහු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් එක ආත්මභාවයකට පමණක් සීමා වන ඒක බීජී කෙනෙක් වෙනවා. එකම මනුෂ්‍ය ආත්මභාවයක උපත ලබා දුක් කෙළවර කරනවා.

ඔහු සංයෝජන තුනක් ක්ෂය කළා මෙන්ම, රාග ද්වේෂ මෝහයන් තුනීබවට පත්කිරීමෙන් සකදාගාමී වෙනවා. එක්වරක් පමණක් මේ ලෝකයට පැමිණ දුක් අවසන් කරනවා.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ශික්ෂාපද තුළ පිරිපුන් කරමින් ඉන්නවා. ඒ වගේම සමාධිය තුළත් පිරිපුන් කරමින් ඉන්නවා. ප්‍රඥාව තුළ තම පමණටයි කරගනිමින් ඉන්නේ. ඉතින් ඒ භික්ෂුව යම් ඒ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද ඇත්නම්, ඒ ශික්ෂාපද කැඩීමකටත් ලක්වෙනවා. නැවත එයින් නැගී සිටීමකුත් වෙනවා. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, මා විසින් ඛුද්දානුඛුද්දක ශික්ෂාපද කඩවීම හා ඉන් නැගිටීම ගැන නිවන් අවබෝධයට නුසුදුසුකමක් වශයෙන් කියල නෑ. පින්වත් මහණෙනි, යම් මේ ශික්ෂාපද නිවන් මගට මූලිකව පිහිටනවා නම්, නිවන් මගටම සරිලනවා නම්, එහිලා නොවෙනස්ව පිහිටනවා. පිහිටලා ඉන්නවා. ඒ ශික්ෂාපදවල සමාදන්ව හික්මෙනවා.

ඔහු කාම ලෝකයට බැඳ තබන ඕරම්භාගීය සංයෝජන පහ ක්ෂය කිරීමෙන්, බඹලොව ඉපිද පිළිවෙලින් අකනිටා බඹලොව දක්වා ගොස් පිරිනිවන් පානා ‘උද්ධංසෝත අකනිට්ඨගාමී’ කෙනෙක් වෙනවා.

ඔහු කාම ලෝකයට බැඳ තබන ඕරම්භාගීය සංයෝජන පහ ක්ෂය කිරීමෙන්, බඹලොව ඉපිද වෙහෙසිලා පිරිනිවන් පානා ‘සසංඛාර පරිනිබ්බායී’ කෙනෙක් වෙනවා.

ඔහු කාම ලෝකයට බැඳ තබන ඕරම්භාගීය සංයෝජන පහ ක්ෂය කිරීමෙන්, බඹලොව ඉපිද නොවෙහෙසී පිරිනිවන් පානා ‘අසංඛාර පරිනිබ්බායී’ කෙනෙක් වෙනවා.

ඔහු කාම ලෝකයට බැඳ තබන ඕරම්භාගීය සංයෝජන පහ ක්ෂය කිරීමෙන්, බඹලොව ඉපිද අඩක් ආයුෂ ගෙවා පිරිනිවන් පානා ‘උපහච්ච පරිනිබ්බායී’ කෙනෙක් වෙනවා.

ඔහු කාම ලෝකයට බැඳ තබන ඕරම්භාගීය සංයෝජන පහ ක්ෂය කිරීමෙන්, බඹලොව ඉපිද ඒ උපන් සැණින්ම පිරිනිවන් පානා ‘අන්තරා පරිනිබ්බායී’ කෙනෙක් වෙනවා.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ශික්ෂාපද තුළ පිරිපුන් කරමින් ඉන්නවා. සමාධිය තුළත් පිරිපුන් කරමින් ඉන්නවා. ප්‍රඥාව තුළත් පිරිපුන් කරමින් ඉන්නවා. ඉතින් ඒ භික්ෂුව යම් ඒ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද ඇත්නම්, ඒ ශික්ෂාපද කැඩීමකටත් ලක්වෙනවා. නැවත එයින් නැගී සිටීමකුත් වෙනවා. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, මා විසින් ඛුද්දානුඛුද්දක ශික්ෂාපද කඩවීම හා ඉන් නැගිටීම ගැන රහත් භික්ෂුවට නුසුදුසුකමක් වශයෙන් කියල නෑ. පින්වත් මහණෙනි, යම් මේ ශික්ෂාපද නිවන් මගට මූලිකව පිහිටනවා නම්, නිවන් මගටම සරිලනවා නම්, එහිලා නොවෙනස්ව පිහිටනවා. පිහිටලා ඉන්නවා. ඒ ශික්ෂාපදවල සමාදන්ව හික්මෙනවා. ඔහු ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමා තුළ උපදවාගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා.

පින්වත් මහණෙනි, මේ ආකාරයට කොටසක් සම්පූර්ණ කරන කෙනා, මාර්ගඵල අවබෝධයෙනුත් කොටසක් ලබනවා. සීල, සමාධි, ප්‍රඥා යන තුනම පරිපූර්ණ කරන කෙනා මාර්ගඵලත් පරිපූර්ණ කරගන්නවා. පින්වත් මහණෙනි, මේ ශික්ෂාපද වඳ (ප්‍රතිඵල රහිත) නැහැ කියලයි මා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M