34. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ. එදා එක්තරා වජ්ජිපුත්තක භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියා. පැමිණ ….(පෙ)…. එකත්පස්ව වාඩිවුන ඒ වජ්ජිපුත්තක භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා.
“ස්වාමීනී, අඩමසක් පාසා මේ එකසිය පනහකට වැඩි වූ ශික්ෂාපද ප්‍රමාණයක් උදෙසීමට (නැවත පෙන්වා මතක් කර දෙමින්, ඒවා සමාදන් වී සිටින බව සිහිපත් කරවීමට) පැමිණෙනවා. නමුත් ස්වාමීනී, ඔතරම් ශික්ෂාපදවල මට හික්මෙන්නට පුළුවන්කමක් නෑ.”
“පින්වත් භික්ෂුව, එහෙමනම් ඔබට අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා කියන ශික්ෂා තුනේ හික්මෙන්නට පුළුවන්ද?”
“ස්වාමීනී, මට අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා කියන ශික්ෂා තුනේ නම් හික්මෙන්නට පුළුවනි.”
“එහෙනම් පින්වත් භික්ෂුව, ඔබ අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා කියන ශික්ෂා තුනේ හික්මෙන්න. පින්වත් භික්ෂුව, යම් කලෙක ඔබ අධිශීලයේ හික්මෙනවා නම්, අධිචිත්තයේ හික්මෙනවා නම්, අධිප්‍රඥාවේ හික්මෙනවා නම්, ඒ අධිශීලයේ හික්මෙන, අධිචිත්තයේ හික්මෙන, අධිප්‍රඥාවේ හික්මෙන ඔබගේ රාගය ප්‍රහාණය වෙලා යනවා. ද්වේෂය ප්‍රහාණය වෙලා යනවා. මෝහය ප්‍රහාණය වෙලා යනවා. ඒ ඔබ රාගය ප්‍රහාණය වීම නිසා, ද්වේෂය ප්‍රහාණය වීම නිසා, මෝහය ප්‍රහාණය වීම නිසා, යමක් අකුසල් නම් එය කරන්නේ නෑ. යමක් පව් නම් එය සේවනය කරන්නේ නෑ.”
ඉතින් ඒ භික්ෂුව පසු කලෙක අධිශීලයෙත් හික්මුනා. අධිචිත්තයෙත් හික්මුනා. අධිප්‍රඥාවෙත් හික්මුනා. ඒ විදිහට අධිශීලයේ හික්මෙන, අධිචිත්තයේ හික්මෙන, අධිප්‍රඥාවේ හික්මෙන ඔහුගේ රාගය ප්‍රහාණය වුනා. ද්වේෂය ප්‍රහාණය වුනා. මෝහය ප්‍රහාණය වුනා. ඔහු රාගය ප්‍රහාණය වීම නිසා, ද්වේෂය ප්‍රහාණය වීම නිසා, මෝහය ප්‍රහාණය වීම නිසා, යමක් අකුසල් නම්, ඒ දේ කළෙත් නෑ. යමක් පව් නම් ඒ දේ සේවනය කළෙත් නෑ.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M