අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.4.3.

33. පින්වත් මහණෙනි, ගොවිතැන් කරන ගෘහපතියෙකුට කල්තියාම කළ යුතු දේවල් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි, මෙහිලා ගොවිතැන් කරන ගෘහපතියා කල්තියාම කුඹුරේ සීසෑම කරනවා. පෝරු ගානවා. කල්තියාම කුඹුර හාලා, පෝරු ගාලා, සුදුසු කලට වේලාවට බීජ පිහිටුවනවා. සුදුසු කාලයට බීජ පිහිටුවලා, සුදුසු කාලයට ජලය වැද්දීමත්, පිටමං කිරීමත් කරනවා. පින්වත් මහණෙනි, ගොවිතැන් කරන ගෘහපතියෙකුට මේ කාරණා තුන තමයි මුලින්ම කරන්න තියෙන්නේ.

අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, භික්ෂුවකටත් මුලින්ම කළ යුතු දේවල් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? අධිශීල ශික්ෂාවේ සමාදන් වීම. අධිචිත්ත ශික්ෂාවේ සමාදන් වීම. අධිප්‍රඥා ශික්ෂාවේ සමාදන් වීම. පින්වත් මහණෙනි, මේ කාරණා තුන භික්ෂුවක් විසින් මුලින්ම කළ යුතුයි.

ඒ නිසා පින්වත් මහණෙනි, මේ විදිහට හික්මිය යුතුයි. ‘අධිශීල ශික්ෂා සමාදන් වීම ගැන අප තුළ ඉතා දැඩි වූ කැමැත්තක් ඇතිවෙනවාමයි. අධිචිත්ත ශික්ෂා සමාදන් වීම ගැන අප තුළ ඉතා දැඩි වූ කැමැත්තක් ඇතිවෙනවාමයි. අධිප්‍රඥා ශික්ෂා සමාදන් වීම ගැන අප තුළ ඉතා දැඩි වූ කැමැත්තක් ඇතිවෙනවාමයි’ කියලා. පින්වත් මහණෙනි, ඔබ විසින් මේ ආකාරයටයි හික්මිය යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M