32. පින්වත් මහණෙනි, යම් විදිහකින් බූරුවෙක් ‘මමත් උම්බෑ කියනවා. මමත් උම්බෑ කියනවා’ කියලා හරක් පට්ටියක් පිටිපස්සෙන් ලුහුබඳිමින් ගියත්, ඒ බූරුවා තුළ ගවයින්ට තිබෙන ආකාරයේ පෙනුමක් නෑ. ගවයින්ට තියෙන ආකාරයේ ස්වරයක් නෑ. ගවයින්ට තිබෙන ආකාරයේ පා සටහනක් නෑ. නමුත් ඌ ‘මමත් උම්බෑ කියනවා. මමත් උම්බෑ කියනවා’ කියලා හරක් පට්ටියක් පිටිපස්සෙන් ලුහුබඳිමින් යනවා.
අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, මෙහි ඇතැම් භික්ෂූන් ඉන්නවා. ‘මමත් භික්ෂුවක් වෙමි. මමත් භික්ෂුවක් වෙමි’ කියමින් සුපේශල වූ භික්ෂු සංඝයා පිටුපසින් ලුහුබඳිමින් ගියත්, ඔහු තුළ අනෙක් සිල්වත් භික්ෂූන්ට මෙන් අධිසීල ශික්ෂා සමාදන් වීම ගැන කැමැත්තක් නෑ. අනෙක් සිල්වත් භික්ෂූන්ට මෙන් අධිචිත්ත ශික්ෂා සමාදන් වීම ගැන කැමැත්තක් නෑ. අනෙක් සිල්වත් භික්ෂූන්ට මෙන් අධිප්‍රඥා ශික්ෂා සමාදන් වීම ගැන කැමැත්තක් නෑ. නමුත් ඒ භික්ෂුව ‘මමත් භික්ෂුවක් වෙමි. මමත් භික්ෂුවක් වෙමි’ කියමින් සුපේශල වූ භික්ෂු සංඝයා පිටුපසින් ලුහුබඳිමින් යනවා.
ඒ නිසා පින්වත් මහණෙනි, මේ විදිහට හික්මිය යුතුයි. ‘අධිශීල ශික්ෂා සමාදන් වීම ගැන අප තුළ ඉතා දැඩි වූ කැමැත්තක් ඇතිවෙනවාමයි. අධිචිත්ත ශික්ෂා සමාදන් වීම ගැන අප තුළ ඉතා දැඩි වූ කැමැත්තක් ඇතිවෙනවාමයි. අධිප්‍රඥා ශික්ෂා සමාදන් වීම ගැන අප තුළ ඉතා දැඩි වූ කැමැත්තක් ඇතිවෙනවාමයි’ කියලා. පින්වත් මහණෙනි, ඔබ විසින් මේ ආකාරයටයි හික්මිය යුත්තේ.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M