අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.4.10.

40. පින්වත් මහණෙනි, මේ ශික්ෂාවන් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? අධිශීල ශික්ෂාව, අධිචිත්ත ශික්ෂාව, අධිප්‍රඥා ශික්ෂාවයි.

පින්වත් මහණෙනි, අධිශීල ශික්ෂාව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව සිල්වත් වෙනවා. ….(පෙ)…. ශික්ෂාපදවල සමාදන් වෙලා හික්මෙනවා. පින්වත් මහණෙනි, මේකට තමයි අධිශීල ශික්ෂාව කියල කියන්නේ.

පින්වත් මහණෙනි, අධිචිත්ත ශික්ෂාව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි අධිචිත්ත ශික්ෂාව කියලා කියන්නේ.

පින්වත් මහණෙනි, අධිප්‍රඥා ශික්ෂාව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම ස්වකීය විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කොට එයට පැමිණ වාසය කරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි අධිප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ.

පින්වත් මහණෙනි, මේ තමයි ශික්ෂාවන් තුන.

39. වීරියවන්ත වූත්, දැඩි අධිෂ්ඨානයකින් යුක්ත වූත්, ප්‍රඥාවන්ත වූත්, ධ්‍යාන වඩන්නා වූත්, සිහි නුවණ ඇත්තා වූත්, අකුසලයට වසන ලද ඉඳුරන් ඇත්තා වූත් භික්ෂුව අධිශීලයත්, අධිචිත්තයත්, අධිප්‍රඥාවත් පුරනවා.

40. පළමු දිනවල ත්‍රිවිධ ශික්ෂාවන් පුරන්නේ යම් සේද, පසු දිනවලද එසේය. පසු දිනවල ත්‍රිවිධ ශික්ෂාවන් පුරන්නේ යම් සේද, පළමු දිනවලද එසේය. යටි කයෙහි අසුභය වඩන්නේ යම් සේද, උඩු කයෙහිද එසේය. උඩු කයෙහි අසුභය වඩන්නේ යම් සේද, යටි කයෙහිද එසේය.

41. දහවල් කාලයේ ත්‍රිවිධ ශික්ෂාවන් පුරන්නේ යම් සේද, රාත්‍රී කාලයේද එසේය. රාත්‍රී කාලයේ ත්‍රිවිධ ශික්ෂාවන් පුරන්නේ යම් සේද, දහවල් කාලයේද එසේය. ඔහු අප්‍රමාණ වූ මෛත්‍රී සමාධියෙන්ද හැම දිශාවම මැඬගෙන සිටියි.

42. එබඳු කෙනාට කියන්නේ සේඛ ප්‍රතිපදාවෙන් යුතු කෙනා කියලයි. ඒ වගේම පිරිසිදු හැසිරීමෙන් යුතු කෙනා කියලත් කියනවා. එබඳු කෙනාට කියන්නේ ලෝකයේ ත්‍රිශික්ෂාවෙන් යුතු ප්‍රතිපදාවේ කෙලවරට පත්, වීරියවන්ත වූ, ආර්ය සත්‍යාවබෝධය කළා වූ කෙනා කියලයි.

43. තණ්හාව ක්ෂය වීමෙන් විමුක්තියට පත් වූ ඒ ආර්ය පුද්ගලයා, විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් පහනක් නිවී යන්නා සේ පිරිනිවන් පානා විමෝක්ෂයට පත් වූ සිතින් යුතු කෙනෙක් වෙයි.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M