අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.4.11.

41. කොසොල් ජනපදයේදී………………

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂු සංඝයා පිරිවරාගෙන කොසොල් ජනපදයේ චාරිකාවේ වඩිනා අතරේ කොසොල් වැසියන්ගේ පංකධා යන නියම්ගමට වැඩම කළා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කෝසලවාසීන්ගේ ‘පංකධා’ කියන නියම්ගමේ.

ඒ දිනවල කස්සපගොත්ත නම් භික්ෂුවක් පංකධාවේ ආවාසයක නැවතී සිටියා. එහිදී භාග්‍යවතුන් වහන්සේ නිතර නිතර ශික්ෂාපද පිළිබඳ විස්තරවලින් යුතු වූ ධර්ම කථාවෙන් භික්ෂූන් වහන්සේලාට කරුණු පහදා වදාළා. සමාදන් කරවා වදාළා. උනන්දුව ඇතිකරවා වදාළා. පහදවා වදාළා.

භාග්‍යවතුන් වහන්සේ විසින් ඔය අයුරින් නිතර නිතර ශික්ෂාපද පිළිබඳ විස්තරවලින් යුතු වූ ධර්ම කථාවෙන් භික්ෂූන් වහන්සේලාට කරුණු පහදා වදාරණ විට, සමාදන් කරවා වදාරණ විට, උනන්දුව ඇතිකරවා වදාරණ විට, පහදවා වදාරණ විට, කස්සපගොත්ත භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නුරුස්සන බවක් ඇති කරගත්තා. නොසතුටක් ඇති කරගත්තා. ‘මේ ශ්‍රමණයන් වහන්සේ ඕනෑවටත් වඩා සියුම් කරකර කියනවා නෙව’ කියලා.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ කැමතිතාක් පංකධාවෙහි වැඩවාසය කරලා, රජගහ නුවර දෙසට චාරිකාවේ පිටත් වී වදාළා. අනුපිළිවෙලින් චාරිකාවේ වඩිමින් රජගහ නුවරට වැඩම කළා. ඒ වන විට භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ කලකින් කස්සපගොත්ත භික්ෂුව තුළ පසුතැවිල්ලක් හටගත්තා. ‘අයියෝ! මට අලාභයක්මයි. අයියෝ! මට ලාභයක් නම් නෑ. අයියෝ! මට නපුරු වූ ලැබීමක්මයි. අයියෝ! මට යහපත් ලැබීමක් නම් නෑ. ශික්ෂාපද ප්‍රතිසංයුක්ත වූ ධර්ම කථාවෙන් භික්ෂූන් වහන්සේලා හට නිතර නිතර කරුණු දක්වා වදාරන්නා වූ, සමාදන් කරවා වදාරන්නා වූ, උනන්දු කරවා වදාරන්නා වූ, පහදවා වදාරන්නා වූ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා තුළ නුරුස්සන බවක් ඇතිවුනා නෙව. අපැහැදීමක් ඇතිවුනා නෙව. මේ ශ්‍රමණයන් වහන්සේ ඕනෑවටත් වඩා සියුම් කරකර කියනවා නෙව’ කියලා.

“දැන් ඉතින් මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටිනවා නම්, එතැනට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ සමීපයේදී මා අතින් සිදු වූ වරද, වරදක් හැටියට ප්‍රකාශ කරන එක තමයි හොඳ.”

ඉතින් ඒ කස්සපගොත්ත භික්ෂුව සේනාසනය පිළිවෙලකට අස්පස් කරලා, පාත්‍ර සිවුරු අරගෙන රජගහ නුවර දෙසට පිටත් වුනා. අනුපිළිවෙලින් රජගහ නුවර, ගිජ්ඣකූට පර්වතයේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන කස්සපගොත්ත භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පවසා සිටියා.

“ස්වාමීනී, ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ පංකධාවෙහි පංකධා නම් වූ කෝසලවාසීන්ගේ නියම්ගමේ. එහි වැඩසිටිද්දී භාග්‍යවතුන් වහන්සේ නිතර නිතර ශික්ෂාපද පිළිබඳ විස්තරවලින් යුතු වූ ධර්ම කථාවෙන් භික්ෂූන් වහන්සේලාට කරුණු පහදා වදාළා. සමාදන් කරවා වදාළා. උනන්දුව ඇතිකරවා වදාළා. පහදවා වදාළා.

එතකොට ස්වාමීනී, ශික්ෂාපද ප්‍රතිසංයුක්ත වූ ධර්ම කථාවෙන් භික්ෂූන් වහන්සේලා හට නිතර නිතර කරුණු දක්වා වදාරන්නා වූ, සමාදන් කරවා වදාරන්නා වූ, උනන්දු කරවා වදාරන්නා වූ, පහදවා වදාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා තුළ නුරුස්සනා බවක් ඇතිවුනා. අපැහැදීමක් ඇතිවුනා. ‘මේ ශ්‍රමණයන් වහන්සේ ඕනෑවටත් වඩා සියුම් කරකර කියනවා නෙව’ කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කැමතිතාක් පංකධාවෙහි වැඩවාසය කරලා, රජගහ නුවර දෙසට චාරිකාවේ පිටත් වී වදාළා. භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ කලකින් මා තුළ පසුතැවිල්ලක් හටගත්තා. විපිළිසර බවක් හටගත්තා. ‘අයියෝ! මට අලාභයක්මයි. අයියෝ! මට ලාභයක් නම් නෑ. අයියෝ! මට නපුරු වූ ලැබීමක්මයි. අයියෝ! මට යහපත් ලැබීමක් නම් නෑ. ශික්ෂාපද ප්‍රතිසංයුක්ත වූ ධර්ම කථාවෙන් භික්ෂූන් වහන්සේලා හට නිතර නිතර කරුණු දක්වා වදාරන්නා වූ, සමාදන් කරවා වදාරන්නා වූ, උනන්දු කරවා වදාරන්නා වූ, පහදවා වදාරන්නා වූ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා තුළ නුරුස්සන බවක් ඇතිවුනා නෙව. අපැහැදීමක් ඇතිවුනා නෙව. මේ ශ්‍රමණයන් වහන්සේ ඕනෑවටත් වඩා සියුම් කරකර කියනවා නෙව’ කියලා. (ඊට පස්සේ මට මෙහෙම හිතුනා.) ‘දැන් ඉතින් මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටිනවා නම්, එතැනට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ සමීපයේදී මා අතින් සිදු වූ වරද, වරදක් හැටියට ප්‍රකාශ කරන එක තමයි හොඳ’ කියලා.

ස්වාමීනී, අසත්පුරුෂ බාලයෙකුට සිතෙන්නේ යම් ආකාරයෙන්ද, මුළාවට පත් වූ කෙනෙකුට සිතෙන්නේ යම් ආකාරයෙන්ද, අකුසලයක් කෙරෙන්නේ යම් ආකාරයෙන්ද, ඒ අයුරින් මේ වරද මාව යට කරගෙන ගියා. ශික්ෂාපද ප්‍රතිසංයුක්ත වූ ධර්ම කථාවෙන් භික්ෂූන් වහන්සේලා හට නිතර නිතර කරුණු දක්වා වදාරන්නා වූ, සමාදන් කරවා වදාරන්නා වූ, උනන්දු කරවා වදාරන්නා වූ, පහදවා වදාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම්බඳු මා තුළ නුරුස්සනා බවක් ඇතිවුනා. අපැහැදීමක් ඇතිවුනා. ‘මේ ශ්‍රමණයන් වහන්සේ ඕනෑවටත් වඩා සියුම් කරකර කියනවා නෙව’ කියලා. ස්වාමීනී, ඒ මාගේ වරද මත්තෙහි සංවර වීම උදෙසා වරද වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිගෙන වදාරණ සේක්වා!”

“පින්වත් කස්සප, ශික්ෂාපද ප්‍රතිසංයුක්ත වූ ධර්ම කථාවෙන් භික්ෂූන් වහන්සේලා හට නිතර නිතර කරුණු දක්වා වදාරන්නා වූ, සමාදන් කරවා වදාරන්නා වූ, උනන්දු කරවා වදාරන්නා වූ, පහදවා වදාරන්නා වූ මා කෙරෙහි යම්බඳු ඔබ තුළ ‘මේ ශ්‍රමණයන් වහන්සේ ඕනෑවටත් වඩා සියුම් කරකර කියනවා නෙව’ කියලා නුරුස්සනා බවක් ඇතිවුනා නම්, අපැහැදීමක් ඇතිවුනා නම්, සැබැවින්ම අසත්පුරුෂ බාලයෙකුට සිතෙන්නේ යම් ආකාරයෙන්ද, මුළාවට පත් වූ කෙනෙකුට සිතෙන්නේ යම් ආකාරයෙන්ද, අකුසලයක් කෙරෙන්නේ යම් ආකාරයෙන්ද, ඒ අයුරින් මේ වරද ඔබව යටකොට තිබෙනවා.

පින්වත් කස්සප, යම් කලෙක ඔබ වරද, වරද වශයෙන් දැක, එයට අනුරූප වූ ධර්මානුකූල ප්‍රතිකර්ම කරනවා නම්, ඔබේ ඒ වරද අපි පිළිගන්නවා. පින්වත් කස්සප, යම් කෙනෙක් වරද, වරද වශයෙන් දැක, එයට අනුරූප වූ ධර්මානුකූල ප්‍රතිකර්ම කරනවා නම්, මත්තෙහි සංවර බවට පැමිණෙනවා නම්, පින්වත් කස්සප, එය මේ ආර්ය විනයෙහි දියුණුවක්මයි.

පින්වත් කස්සප, උපසම්පදාවෙන් දසවස් ඉක්මවා ගිය ස්ථවිර භික්ෂුවක් වුනත්, ශික්ෂාකාමී නැත්නම්, ශික්ෂාපද සමාදන් වීම ගැන වර්ණනා කරන්නේ නැත්නම්, ඒ වගේම ශික්ෂාකාමී නොවන අනෙක් භික්ෂූන් වහන්සේලාව ශික්ෂාවෙහි සමාදන් කරවන්නේ නැත්නම්, ඒ වගේම ශික්ෂාකාමී වූ භික්ෂූන් වහන්සේලා හට ඔවුන්ගේ ඇත්තා වූම, සත්‍යය වූ ගුණ සුදුසු කාලයෙහිලා වර්ණනා කරන්නේ නැත්නම්, පින්වත් කස්සප, මෙබඳු වූ ස්ථවිර භික්ෂුවගේ ගුණ මා පවසන්නේ නෑ.

එයට හේතුව කුමක්ද?

‘ශාස්තෘන් වහන්සේ පවා ඔහුගේ ගුණ වර්ණනා කරනවා නෙව’ කියලා අනෙක් භික්ෂූන් එතකොට ඔහුව ඇසුරු කරනවා. යමෙක් ඔහුව ආශ්‍රය කරනවා නම්, ඒ ආශ්‍රය හේතුවෙන් ඔවුනුත් අර භික්ෂුවගේ ගතිගුණවලට හැඩගැසී යනවා. යමෙක් ඒ භික්ෂුවගේ ගතිගුණවලට හැඩගැසී යනවා නම්, එය ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා. ඒනිසා පින්වත් කස්සප, මා මෙවැනි ගතිගුණ ඇති ස්ථවිර භික්ෂුව ගැන වර්ණනා කරන්නේ නෑ.

පින්වත් කස්සප, උපසම්පදාවෙන් දසවස් ඉක්මවා නොගිය මධ්‍යම භික්ෂුවක් වුනත්, ….(පෙ)…. නවක භික්ෂුවක් වුනත්, ශික්ෂාකාමී නැත්නම්, ශික්ෂාපද සමාදන් වීම ගැන වර්ණනා කරන්නේ නැත්නම්, ඒ වගේම ශික්ෂාකාමී නොවන අනෙක් භික්ෂූන් වහන්සේලාව ශික්ෂාවෙහි සමාදන් කරවන්නේ නැත්නම්, ඒ වගේම ශික්ෂාකාමී වූ භික්ෂූන් වහන්සේලා හට ඔවුන්ගේ ඇත්තා වූම, සත්‍යය වූ ගුණ සුදුසු කාලයෙහිලා වර්ණනා කරන්නේ නැත්නම්, පින්වත් කස්සප, මෙබඳු වූ නවක භික්ෂුවගේ ගුණ මා පවසන්නේ නෑ.

එයට හේතුව කුමක්ද?

‘ශාස්තෘන් වහන්සේ පවා ඔහුගේ ගුණ වර්ණනා කරනවා නෙව’ කියලා අනෙක් භික්ෂූන් එතකොට ඔහුව ඇසුරු කරනවා. යමෙක් ඔහුව ආශ්‍රය කරනවා නම්, ඒ ආශ්‍රය හේතුවෙන් ඔවුනුත් අර භික්ෂුවගේ ගතිගුණවලට හැඩගැසී යනවා. යමෙක් ඒ භික්ෂුවගේ ගතිගුණවලට හැඩගැසී යනවා නම්, එය ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා. ඒනිසා පින්වත් කස්සප, මා මෙවැනි ගතිගුණ ඇති නවක භික්ෂුව ගැන වර්ණනා කරන්නේ නෑ.

පින්වත් කස්සප, උපසම්පදාවෙන් දසවස් ඉක්මවා ගිය ස්ථවිර භික්ෂුවක්, ශික්ෂාකාමීව සිටිනවා නම්, ශික්ෂාපද සමාදන් වීම ගැන වර්ණනා කරනවා නම්, ඒ වගේම ශික්ෂාකාමී නොවන අනෙක් භික්ෂූන් වහන්සේලාව ශික්ෂාවෙහි සමාදන් කරවනවා නම්, ඒ වගේම ශික්ෂාකාමී වූ භික්ෂූන් වහන්සේලා හට ඔවුන්ගේ ඇත්තා වූම, සත්‍යය වූ ගුණ සුදුසු කාලයෙහිලා වර්ණනා කරනවා නම්, පින්වත් කස්සප, මෙබඳු වූ ස්ථවිර භික්ෂුවගේ ගුණ මා පවසනවා.

එයට හේතුව කුමක්ද?

‘ශාස්තෘන් වහන්සේ පවා ඔහුගේ ගුණ වර්ණනා කරනවා නෙව’ කියලා අනෙක් භික්ෂූන් එතකොට ඔහුව ඇසුරු කරනවා. යමෙක් ඔහුව ආශ්‍රය කරනවා නම්, ඒ ආශ්‍රය හේතුවෙන් ඔවුනුත් අර භික්ෂුවගේ ගතිගුණවලට හැඩගැසී යනවා. යමෙක් ඒ භික්ෂුවගේ ගතිගුණවලට හැඩගැසී යනවා නම්, එය ඔහුට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස පවතිනවා. ඒනිසා පින්වත් කස්සප, මා මෙවැනි ගතිගුණ ඇති ස්ථවිර භික්ෂුව ගැනයි මා වර්ණනා කරන්නේ.

පින්වත් කස්සප, උපසම්පදාවෙන් දසවස් ඉක්මවා නොගිය මධ්‍යම භික්ෂුවක්, ….(පෙ)…. නවක භික්ෂුවක් වුනත්, ශික්ෂාකාමීව සිටිනවා නම්, ශික්ෂාපද සමාදන් වීම ගැන වර්ණනා කරනවා නම්, ඒ වගේම ශික්ෂාකාමී නොවන අනෙක් භික්ෂූන් වහන්සේලාව ශික්ෂාවෙහි සමාදන් කරවනවා නම්, ඒ වගේම ශික්ෂාකාමී වූ භික්ෂූන් වහන්සේලා හට ඔවුන්ගේ ඇත්තා වූම, සත්‍යය වූ ගුණ සුදුසු කාලයෙහිලා වර්ණනා කරනවා නම්, පින්වත් කස්සප, මෙබඳු වූ නවක භික්ෂුවගේ ගුණ මා පවසනවා.

එයට හේතුව කුමක්ද?

‘ශාස්තෘන් වහන්සේ පවා ඔහුගේ ගුණ වර්ණනා කරනවා නෙව’ කියලා අනෙක් භික්ෂූන් එතකොට ඔහුව ඇසුරු කරනවා. යමෙක් ඔහුව ආශ්‍රය කරනවා නම්, ඒ ආශ්‍රය හේතුවෙන් ඔවුනුත් අර භික්ෂුවගේ ගතිගුණවලට හැඩගැසී යනවා. යමෙක් ඒ භික්ෂුවගේ ගතිගුණවලට හැඩගැසී යනවා නම්, එය ඔහුට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස පවතිනවා. ඒනිසා පින්වත් කස්සප, මා මෙවැනි ගතිගුණ ඇති නවක භික්ෂුව ගැනයි මා වර්ණනා කරන්නේ.”

සාදු! සාදු!! සාදු!!!

හතරවෙනි සමණ වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-4-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M