ඒ දිනවල ආයුෂ්මත් ආනන්ද තෙරුන් වාසය කළේ විශාලා මහනුවර මහාවනයේ කූටාගාර ශාලාවේ. එදා අභය ලිච්ඡවීත්, පණ්ඩිතකුමාර ලිච්ඡවීත්, ආයුෂ්මත් ආනන්ද තෙරුන් වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවූ අභය ලිච්ඡවී ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මේ විදිහට කිව්වා.
ස්වාමීනී, නිගණ්ඨ නාතපුත්‍ර සර්වඥ බවටත්, සියල්ල දක්නා බවටත්, පරිපූර්ණ වූ ඤාණදර්ශනයකින් යුතු බවටත්, ප්‍රතිඥා දෙනවා නෙව. ඒ කියන්නේ ‘මට ඇවිදින විටත්, සිටින විටත්, නිදන විටත්, නිදිවරන විටත් හැම විටම නිරතුරුවම ඤාණදර්ශනය පිහිටලා තියෙනවා’ කියලා. උන්නැහේ පණවන්නේ තපස් ක්‍රමවලින් පැරණි කර්ම නැතිකිරීමයි. අලුත් කර්ම නොකිරීමෙන් ඒ සඳහා තිබෙන මාර්ගය වැනසීමයි. ඔය විදිහට කර්මය ක්ෂය වීමෙන් දුක් ක්ෂය වෙනවාලු. දුක් ක්ෂය වීමෙන් වේදනා ක්ෂය වෙනවාලු. වේදනා ක්ෂය වීමෙන් සෑම දුකක්ම දිරවලා යනවාලු. ඔය විදිහටලු මේ ජීවිතයේදීම දිරවලා පිරිසිදු වීමෙන් දුක ඉක්මවා යන්නේ.
ස්වාමීනී, මෙකරුණෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරණ සේක්ද?”
“පින්වත් අභය, සත්වයන්ගේ පිරිසිදුබව පිණිස, ශෝක වැළපීම් ඉක්මයෑම පිණිස, දුක් දොම්නස් දුරුවීම පිණිස, ජීවිතාවබෝධය ඇතිවීම පිණිස, ඒ අමා නිවන සාක්ෂාත් කිරීම පිණිස අවබෝධයෙන් යුතුව ලොව දන්නා වූත්, දක්නා වූත් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජණන් වහන්සේ විසින් දිරවා පිරිසිදු වීම් තුනක් ගැන මනාකොට වදාරලා තියෙනවා.
ඒ කවර තුනක්ද යත්? පින්වත් අභය, මෙහිලා භික්ෂුව සිල්වත් වෙනවා. ….(පෙ)…. ශික්ෂාපදවල සමාදන්ව හික්මෙනවා. ඔහු අලුත් කර්ම කරන්නෙත් නෑ. පැරණි කර්මත් විපාක විඳිමින් ස්පර්ශ කර කර අවසන් කරනවා. ඕක තමයි අකාලික වූත්, ඇවිත් බලන්න යැයි කිව හැකි වූත්, තමා තුළට පමුණුවාගත හැකි වූත්, නැණවතුන් විසින් වෙන් වෙන්ව අවබොධ කළ යුතු වූත්, මෙලොවදීම ඇති කරගත හැකි දිරවීමෙන් පිරිසිදු වීම.
පින්වත් අභය, ඒ භික්ෂුව සිල්වත් වෙලා කාමයන්ගෙන් වෙන්ව, ….(පෙ)…. සතර වෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. ඔහු අලුත් කර්ම කරන්නෙත් නෑ. පැරණි කර්මත් විපාක විඳිමින් ස්පර්ශ කර කර අවසන් කරනවා. ඕක තමයි අකාලික වූත්, ඇවිත් බලන්න යැයි කිව හැකි වූත්, තමා තුළට පමුණුවාගත හැකි වූත්, නැණවතුන් විසින් වෙන් වෙන්ව අවබොධ කළ යුතු වූත්, මෙලොවදීම ඇති කරගත හැකි දිරවීමෙන් පිරිසිදු වීම.
පින්වත් අභය, මේ විදිහට සීලසම්පන්න වූ, සමාධිසම්පන්න වූ, ඒ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන්, අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමා විසින්ම විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරගෙන එයට පැමිණ වාසය කරනවා. ඔහු අලුත් කර්ම කරන්නෙත් නෑ. පැරණි කර්මත් විපාක විඳිමින් ස්පර්ශ කර කර අවසන් කරනවා. ඕක තමයි අකාලික වූත්, ඇවිත් බලන්න යැයි කිව හැකි වූත්, තමා තුළට පමුණුවාගත හැකි වූත්, නැණවතුන් විසින් වෙන් වෙන්ව අවබොධ කළ යුතු වූත්, මෙලොවදීම ඇති කරගත හැකි දිරවීමෙන් පිරිසිදු වීම.
පින්වත් අභය, සත්වයන්ගේ පිරිසිදුබව පිණිස, ශෝක වැළපීම් ඉක්මයෑම පිණිස, දුක් දොම්නස් දුරුවීම පිණිස, ජීවිතාවබෝධය ඇතිවීම පිණිස, ඒ අමා නිවන සාක්ෂාත් කිරීම පිණිස අවබෝධයෙන් යුතුව ලොව දන්නා වූත්, දක්නා වූත් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජණන් වහන්සේ විසින් වදාරලා තියෙන්නේ මේ දිරවා පිරිසිදු වීම් තුන ගැනයි.
මේ විදිහට පැවසූ විට පණ්ඩිතකුමාර ලිච්ඡවී අභය ලිච්ඡවී හට මේ විදිහට කිව්වා.
අභය මිතුරාණෙනි, කිම, ඔබ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ සුභාෂිතය (මැනැවින් වදාරණ ලද) සුභාෂිතයක් වශයෙක් අනුමෝදන් වෙන්නේ නැද්ද?
යහළුවා, කිම, මා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ සුභාෂිතය, සුභාෂිතයක් වශයෙන් අනුමෝදන් නොවෙනවා කියලද හිතන්නේ? යම් කෙනෙක් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ සුභාෂිතය සුභාෂිතයක් වශයෙන් අනුමෝදන් නොවෙනවා නම් ඔහුගේ හිස ගිලිහී යාවි.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M