19. පින්වත් මහණෙනි, මේ අකුසල මුල් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? ලෝභය අකුසලයට මුල්වෙන දෙයක්. ද්වේෂය අකුසලයට මුල්වෙන දෙයක්. මෝහය අකුසලයට මුල්වෙන දෙයක්.
පින්වත් මහණෙනි, යම්කිසි ලෝභයක් ඇත්නම් ඒකමයි අකුසලය. ලෝභී පුද්ගලයා කයෙන්, වචනයෙන්, මනසින් යමක් රැස්කරනවා නම් ඒකත් අකුසලයක්. ලෝභය විසින් යටකර දැමූ සිත් ඇති, ලෝභය විසින් වෙළාගත් සිත් ඇති ලෝභී පුද්ගලයා ‘මම බලවත් වෙමි. මේ විදිහෙන් බලය උපදවාගෙන සිටිමි’ කියලා අන් අයට වදදීමෙන් වේවා, සිර කිරීමෙන් වේවා, පැහැරගැනීමෙන් වේවා, ගැරහීමෙන් වේවා, රටින් නෙරපීමෙන් වේවා, අමිහිරි වූ දුකක් උපදවයි නම්, ඒකත් අකුසලයක්. මේ ආකාරයෙන් ඔහු තුළ ලෝභයෙන් උපන්, ලෝභයම මුල් වූ, ලෝභයෙන් හටගත්, ලෝභ ප්‍රත්‍යයෙන් අනේකවිධ වූ පාපී අකුසල් හටගන්නවා.
පින්වත් මහණෙනි, යම්කිසි ද්වේෂයක් ඇත්නම් ඒකමයි අකුසලය. දුෂ්ට පුද්ගලයා කයෙන්, වචනයෙන්, මනසින් යමක් රැස්කරනවා නම් ඒකත් අකුසලයක්. ද්වේෂය විසින් යටකර දැමූ සිත් ඇති, ද්වේෂය විසින් වෙළාගත් සිත් ඇති දුෂ්ට පුද්ගලයා ‘මම බලවත් වෙමි. මේ විදිහෙන් බලය උපදවාගෙන සිටිමි’ කියලා අන් අයට වදදීමෙන් වේවා, සිර කිරීමෙන් වේවා, පැහැර ගැනීමෙන් වේවා, ගැරහීමෙන් වේවා, රටින් නෙරපීමෙන් වේවා, අමිහිරි වූ දුකක් උපදවයි නම්, ඒකත් අකුසලයක්. මේ ආකාරයෙන් ඔහු තුළ ද්වේෂයෙන් උපන්, ද්වේෂයම මුල් වූ, ද්වේෂයෙන් හටගත්, ද්වේෂ ප්‍රත්‍යයෙන් අනේකවිධ වූ පාපී අකුසල් හටගන්නවා.
පින්වත් මහණෙනි, යම්කිසි මෝහයක් ඇත්නම් ඒකමයි අකුසලය. මුලා වූ පුද්ගලයා කයෙන්, වචනයෙන්, මනසින් යමක් රැස්කරනවා නම් ඒකත් අකුසලයක්. මෝහය විසින් යටකර දැමූ සිත් ඇති, මෝහය විසින් වෙළාගත් සිත් ඇති මුලා වූ පුද්ගලයා ‘මම බලවත් වෙමි. මේ විදිහෙන් බලය උපදවාගෙන සිටිමි’ කියලා අන් අයට වදදීමෙන් වේවා, සිර කිරීමෙන් වේවා, පැහැර ගැනීමෙන් වේවා, ගැරහීමෙන් වේවා, රටින් නෙරපීමෙන් වේවා, අමිහිරි වූ දුකක් උපදවයි නම්, ඒකත් අකුසලයක්. මේ ආකාරයෙන් ඔහු තුළ මෝහයෙන් උපන්, මෝහයම මුල් වූ, මෝහයෙන් හටගත්, මෝහ ප්‍රත්‍යයෙන් අනේකවිධ වූ පාපී අකුසල් හටගන්නවා. පින්වත් මහණෙනි, මේ පුද්ගලයාට තමයි කල්යල් නොදැන කතාබස් කරන කෙනා, බොරුවෙන් කතා කරන කෙනා, අනර්ථය කතා කරන කෙනා, අධර්මය කතා කරන කෙනා, අවිනය කතා කරන කෙනා කියල කියන්නේ.
පින්වත් මහණෙනි, කවර කරුණක් නිසාද, මෙවැනි පුද්ගලයාට කල්යල් නොදැන කතාබස් කරන කෙනා, බොරුවෙන් කතා කරන කෙනා, අනර්ථය කතා කරන කෙනා, අධර්මය කතා කරන කෙනා, අවිනය කතා කරන කෙනා කියල කියන්නේ? යම් අයුරකින් මේ පුද්ගලයා ‘මම බලවත් වෙමි. මේ විදිහෙන් බලය උපදවාගෙන සිටිමි’ කියලා අන් අයට වදදීමෙන් වේවා, සිර කිරීමෙන් වේවා, පැහැරගැනීමෙන් වේවා, ගැරහීමෙන් වේවා, රටින් නෙරපීමෙන් වේවා, අමිහිරි වූ දුකක් උපදවනවාද, එබඳු ගති ඇති නිසයි මොහුට එසේ කියන්නේ. මොහු ඇත්තක් කිව්වත්, හෙලා දකින්නයි කියන්නේ. ප්‍රතිඥාදීමකට නොවේ. බොරුවක් කිව්වත් ‘ඕක අසත්‍යයක් නෙව. ඕක අභූතයක් නෙව’ කියලා ඒක විසඳාගැනීමට උත්සාහ ගන්නේ නෑ. ඒ නිසයි මෙබඳු පුද්ගලයා හට කල්යල් නොදැන කතාබස් කරන කෙනා, බොරුවෙන් කතා කරන කෙනා, අනර්ථය කතා කරන කෙනා, අධර්මය කතා කරන කෙනා, අවිනය කතා කරන කෙනා කියල කියන්නේ.
පින්වත් මහණෙනි, මෙබඳු පුද්ගලයා ලෝභය නිසා හටගත් පාපී වූ අකුසල්වලින් යට කරන ලද, ලෝභයෙන් වෙලාගත් සිත් ඇතුව මෙලොවදීම පීඩා සහිත වූ, වෙහෙසකර වූ, දැවීම් සහිත වූ දුක් සහිත ජීවිතයක් ගත කරනවා. කය බිඳී මරණින් මතු දුගතිය තමයි කැමති වෙන්න තියෙන්නේ.
ද්වේෂය නිසා හටගත් ….(පෙ)…. මෝහය නිසා හටගත් පාපී වූ අකුසල්වලින් යට කරන ලද, මෝහයෙන් වෙලාගත් සිත් ඇතුව මෙලොවදීම පීඩා සහිත වූ, වෙහෙසකර වූ, දැවීම් සහිත වූ දුක් සහිත ජීවිතයක් ගත කරනවා. කය බිඳී මරණින් මතු දුගතිය තමයි කැමති වෙන්න තියෙන්නේ.
පින්වත් මහණෙනි, ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. සල් ගසක් වේවා, දැව ගසක් වේවා, කොළොන් ගසක් වේවා, (උඩට හැරුණු කිරි ගොට්ට වැනි කොළ ඇති) මාළුවා වැල් තුනකින් වසා ගත්තොත්, හැම පැත්තෙන්ම වෙලා ගත්තොත්, ඒ ගස වැඩෙන්නේ නෑ. විනාශ වෙනවා. මොනවා හරි දෙයකින් විනාශ වෙලා යනවා. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, මෙබඳු පුද්ගලයා ලෝභය නිසා හටගත් පාපී වූ අකුසල්වලින් යට කරන ලද, ලෝභයෙන් වෙලාගත් සිත් ඇතුව මෙලොවදීම පීඩා සහිත වූ, වෙහෙසකර වූ, දැවීම් සහිත වූ දුක් සහිත ජීවිතයක් ගත කරනවා. කය බිඳී මරණින් මතු දුගතිය තමයි කැමති වෙන්න තියෙන්නේ.
ද්වේෂය නිසා හටගත් ….(පෙ)…. මෝහය නිසා හටගත් පාපී වූ අකුසල්වලින් යට කරන ලද, මෝහයෙන් වෙලාගත් සිත් ඇතුව මෙලොවදීම පීඩා සහිත වූ, වෙහෙසකර වූ, දැවීම් සහිත වූ දුක් සහිත ජීවිතයක් ගත කරනවා. කය බිඳී මරණින් මතු දුගතිය තමයි කැමති වෙන්න තියෙන්නේ. පින්වත් මහණෙනි, මේ තමයි අකුසල් මුල් තුන.
පින්වත් මහණෙනි, මේ කුසල මුල් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? අලෝභය කුසලයට මුල්වෙන දෙයක්. අද්වේෂය කුසලයට මුල්වෙන දෙයක්. අමෝහය කුසලයට මුල්වෙන දෙයක්.
පින්වත් මහණෙනි, යම්කිසි අලෝභයක් ඇත්නම් ඒකමයි කුසලය. අලෝභී පුද්ගලයා කයෙන්, වචනයෙන්, මනසින් යමක් රැස්කරනවා නම් ඒකත් කුසලයක්. ලෝභය විසින් යටකර නොදැමූ සිත් ඇති, ලෝභය විසින් වෙළා නොගත් සිත් ඇති අලෝභී පුද්ගලයා ‘මම බලවත් වෙමි. මේ විදිහෙන් බලය උපදවාගෙන සිටිමි’ කියලා අන් අයට වදදීමෙන් වේවා, සිර කිරීමෙන් වේවා, පැහැරගැනීමෙන් වේවා, ගැරහීමෙන් වේවා, රටින් නෙරපීමෙන් වේවා, අමිහිරි වූ දුකක් උපදවන්නේ නෑ. ඒකත් කුසලයක්. මේ ආකාරයෙන් ඔහු තුළ අලෝභයෙන් උපන්, අලෝභයම මුල් වූ, අලෝභයෙන් හටගත්, අලෝභ ප්‍රත්‍යයෙන් අනේකවිධ වූ කුසල් හටගන්නවා.
පින්වත් මහණෙනි, යම්කිසි අද්වේෂයක් ඇත්නම් ඒකමයි කුසලය. අදුෂ්ට පුද්ගලයා කයෙන්, වචනයෙන්, මනසින් යමක් රැස්කරනවා නම් ඒකත් කුසලයක්. ද්වේෂය විසින් යටකර නොදැමූ සිත් ඇති, ද්වේෂය විසින් වෙළා නොගත් සිත් ඇති දුෂ්ට නැති පුද්ගලයා ‘මම බලවත් වෙමි. මේ විදිහෙන් බලය උපදවාගෙන සිටිමි’ කියලා අන් අයට වදදීමෙන් වේවා, සිර කිරීමෙන් වේවා, පැහැරගැනීමෙන් වේවා, ගැරහීමෙන් වේවා, රටින් නෙරපීමෙන් වේවා, අමිහිරි වූ දුකක් උපදවන්නේ නෑ. ඒකත් කුසලයක්. මේ ආකාරයෙන් ඔහු තුළ අද්වේෂයෙන් උපන්, අද්වේෂයම මුල් වූ, අද්වේෂයෙන් හටගත්, අද්වේෂ ප්‍රත්‍යයෙන් අනේකවිධ වූ කුසල් හටගන්නවා.
පින්වත් මහණෙනි, යම්කිසි අමෝහයක් ඇත්නම් ඒකමයි කුසලය. මුලා නොවූ පුද්ගලයා කයෙන්, වචනයෙන්, මනසින් යමක් රැස්කරනවා නම් ඒකත් කුසලයක්. මෝහය විසින් යටකර නොදැමූ සිත් ඇති, මෝහය විසින් වෙළා නොගත් සිත් ඇති මුලා නොවූ පුද්ගලයා ‘මම බලවත් වෙමි. මේ විදිහෙන් බලය උපදවාගෙන සිටිමි’ කියලා අන් අයට වදදීමෙන් වේවා, සිර කිරීමෙන් වේවා, පැහැරගැනීමෙන් වේවා, ගැරහීමෙන් වේවා, රටින් නෙරපීමෙන් වේවා, අමිහිරි වූ දුකක් උපදවන්නේ නෑ. ඒකත් කුසලයක්. මේ ආකාරයෙන් ඔහු තුළ අමෝහයෙන් උපන්, අමෝහයම මුල් වූ, අමෝහයෙන් හටගත්, අමෝහ ප්‍රත්‍යයෙන් අනේකවිධ වූ කුසල් හටගන්නවා. පින්වත් මහණෙනි, මේ පුද්ගලයාට තමයි කල්යල් දැන කතාබස් කරන කෙනා, සත්‍යය කතා කරන කෙනා, අර්ථය කතා කරන කෙනා, ධර්මය කතා කරන කෙනා, විනය කතා කරන කෙනා කියල කියන්නේ.
පින්වත් මහණෙනි, කවර කරුණක් නිසාද, මෙවැනි පුද්ගලයාට කල්යල් දැන කතාබස් කරන කෙනා, ….(පෙ)…. විනය කතා කරන කෙනා කියල කියන්නේ? යම් අයුරකින් මේ පුද්ගලයා ‘මම බලවත් වෙමි. මේ විදිහෙන් බලය උපදවාගෙන සිටිමි’ කියලා අන් අයට වදදීමෙන් වේවා, සිර කිරීමෙන් වේවා, පැහැරගැනීමෙන් වේවා, ගැරහීමෙන් වේවා, රටින් නෙරපීමෙන් වේවා, අමිහිරි වූ දුකක් උපදවන්නේ නැද්ද, එබඳු ගති ඇති නිසයි මොහුට එසේ කියන්නේ. මොහු ඇත්තක් කිව්වත් ප්‍රතිඥා දෙනවා. හෙලා දකින්න කියන්නේ නෑ. නැති දෝසයකින් කිව්වත් ‘ඕක අසත්‍යයක් නෙව. ඕක අභූතයක් නෙව’ කියලා ඒක විසඳාගැනීමට උත්සාහ කරනවා. ඒ නිසයි මෙබඳු පුද්ගලයා හට කල්යල් දැන කතාබස් කරන කෙනා, ….(පෙ)…. විනය කතා කරන කෙනා කියල කියන්නේ.
පින්වත් මහණෙනි, මෙබඳු පුද්ගලයාට ලෝභය නිසා උපන් අකුසල් ප්‍රහීණයි. මුලින්ම උදුරා දමලයි තියෙන්නේ. කරටිය කඩා දැමූ තල් ගසක් වගේ කරලයි තියෙන්නේ. අභාවයට පත්කරලයි තියෙන්නේ. නැවත නූපදින ආකාරයට පත්කරලයි තියෙන්නේ. මෙලොවදීම පීඩා නැතුව, වෙහෙස නැතුව, දැවීම් නැතුව සුවපත් වූ ජීවිතයක් ගත කරනවා. මෙලොවදීම පිරිනිවන් පානවා.
ද්වේෂය නිසා හටගත් ….(පෙ)…. මෝහය නිසා උපන් අකුසල් ප්‍රහීණයි. මුලින්ම උදුරා දමලයි තියෙන්නේ. කරටිය කඩා දැමූ තල් ගසක් වගේ කරලයි තියෙන්නේ. අභාවයට පත්කරලයි තියෙන්නේ. නැවත නූපදින ආකාරයට පත්කරලයි තියෙන්නේ. මෙලොවදීම පීඩා නැතුව, වෙහෙස නැතුව, දැවීම් නැතුව සුවපත් වූ ජීවිතයක් ගත කරනවා. මෙලොවදීම පිරිනිවන් පානවා.
පින්වත් මහණෙනි, ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. සල් ගසක් වේවා, දැව ගසක් වේවා, කොළොන් ගසක් වේවා, මාළුවා වැල් තුනකින් වසා ගෙන හැම පැත්තෙන්ම වෙලා ගෙන තියෙනවා. ඉතින් එතැනට උදැල්ලකුයි, භාජනයකුයි අරගෙන පුරුෂයෙක් එනවා. ඔහු මාලුවා වැල මුලින්ම කපනවා. මුල් කපලා හාරනවා. හාරලා මුල් උදුරලා දමනවා. අඩු තරමින් සැවැන්දරා මුල් තරමේ කුඩා මුල් කෑලි පවා උදුරලා දමනවා. ඔහු ඒ මාලුවා වැල කෑලි කෑලිවලට කපනවා. කෑලි කෑලිවලට කපලා පළනවා. පළලා කුඩා කුඩා කැබලි කරනවා. කුඩා කුඩා කැබලි කරලා, අව්සුළඟේ වේලනවා. අව්සුළඟේ වේලලා, ගින්නෙන් පුච්චනවා. ගින්නෙන් පුච්චලා, අළු බවට පත්කරනවා. අළු බවට පත්කරලා මහා සුළඟේ පොළා හරිනවා. එහෙම නැත්නම් ගඟේ සැඩපහරේ ගසාගෙන යන්න හරිනවා. පින්වත් මහණෙනි. අන්න ඒ විදිහට ඒ මාලුවා වැල් මුලෙන්ම උදුරා දැම්මා වෙනවා. කරටිය කඩා දැමූ තල්ගසක් වගේ කළා වෙනවා. අභාවයට පත් කළා වෙනවා. නැවත නූපදින ආකාරයට පත් කළා වෙනවා.
අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, මෙබඳු පුද්ගලයාට ලෝභය නිසා උපන් අකුසල් ප්‍රහීණයි. මුලින්ම උදුරා දමලයි තියෙන්නේ. කරටිය කඩා දැමූ තල් ගසක් වගේ කරලයි තියෙන්නේ. අභාවයට පත්කරලයි තියෙන්නේ. නැවත නූපදින ආකාරයට පත්කරලයි තියෙන්නේ. මෙලොවදීම පීඩා නැතුව, වෙහෙස නැතුව, දැවීම් නැතුව සුවපත් වූ ජීවිතයක් ගත කරනවා. මෙලොවදීම පිරිනිවන් පානවා.
ද්වේෂය නිසා හටගත් ….(පෙ)…. මෝහය නිසා උපන් අකුසල් ප්‍රහීණයි. මුලින්ම උදුරා දමලයි තියෙන්නේ. කරටිය කඩා දැමූ තල් ගසක් වගේ කරලයි තියෙන්නේ. අභාවයට පත්කරලයි තියෙන්නේ. නැවත නූපදින ආකාරයට පත්කරලයි තියෙන්නේ. මෙලොවදීම පීඩා නැතුව, වෙහෙස නැතුව, දැවීම් නැතුව සුවපත් වූ ජීවිතයක් ගත කරනවා. මෙලොවදීම පිරිනිවන් පානවා. පින්වත් මහණෙනි, මේ තමයි කුසල් මුල් තුන.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M