09. එදා ජානුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ ….(පෙ)…. එකත්පස්ව වාඩිවුන ජානුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මෙකරුණ පැවසුවා. ‘භවත් ගෞතමයන් වහන්ස, යම් කෙනෙකුගේ යාගයක් හෝ මතක බතක් හෝ සමූහ දානයක් හෝ ඒ වගේ දිය යුතු යමක් ඇත්නම්, දිය යුත්තේ ත්‍රිවිද්‍යාලාභී බ්‍රාහ්මණයන්ටමයි’
“පින්වත් බ්‍රාහ්මණය, බ්‍රාහ්මණවරු බ්‍රාහ්මණයෙකුව ත්‍රිවිද්‍යා ඇති කෙනෙක් බවට පණවන්නේ කවර කරුණු මතද?” “භවත් ගෞතමයන් වහන්ස, මෙහි බ්‍රාහ්මණයා මව්පිය දෙපාර්ශවයෙන්ම පිරිසිදු වූ, සුජාත උපතක් ඇති කෙනෙක්. පිරිසිදු මව්කුසක උපන් ඔහු හත් මුතු පරම්පරාවෙන්ම උපන් ජාතිය නින්දා නොලබා, ගැරහුම් නොලබා තිබිය යුතුයි. ඒ වගේම ඔහු වේද හදාරන කෙනෙක්. මන්ත්‍රධාරී කෙනෙක්. ඉතිහාසය පස්වෙනි කොට ඇති වේදසමයාගත භාෂා ශාස්ත්‍රයන්හි නිපුණත්වයක් ඇති අක්ෂර ප්‍රභේද ගැන හසල බුද්ධිය ඇති ත්‍රිවේද පරප්‍රාප්ත කෙනෙක්. වේදසමයාගත පද පාඨ දන්නා කෙනෙක්. ව්‍යාකරණ දන්නා කෙනෙක්. ලෝකායත ශාස්ත්‍රයෙහි, මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයෙහි නිපුණ කෙනෙක්. භවත් ගෞතමයන් වහන්ස, ඔන්න ඔය විදිහටයි බ්‍රාහ්මණවරු ත්‍රිවිද්‍යා බ්‍රාහ්මණයෙක්ව පණවන්නේ.”
“පින්වත් බ්‍රාහ්මණය, බ්‍රාහ්මණවරු ත්‍රිවිද්‍යා බ්‍රාහ්මණයෙක්ව පණවන්නේ වෙනස් විදිහකට නෙව. ආර්ය විනයෙහි (බුදු සසුනෙහි) ත්‍රිවිද්‍යා ඇති කෙනා පණවන්නේ ඔයිට වඩා වෙනස් ආකාරයටයි.” “භවත් ගෞතමයන් වහන්ස, ආර්ය විනයෙහි ත්‍රිවිද්‍යා ඇති කෙනා පණවන්නේ කොයි ආකාරයෙන්ද? භවත් ගෞතමයන් වහන්සේ යම් ආකාරයකින් ආර්ය විනයෙහි ත්‍රිවිද්‍යාලාභියෙක් ඇද්ද, ඒ අයුරින් මා හට ධර්මය දේශනා කරන සේක්වා!” “එසේ වී නම් පින්වත් බ්‍රාහ්මණය, සවන් දෙන්න. ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.
“පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, කලින් ජීවිතය ගත කළ ආකාරය දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. ඉතින් ඔහු නොයෙක් ආකාරයෙන් කලින් ජීවිත ගෙවූ හැටි (ආපස්සට) සිහි කරනවා. ඒ කියන්නේ, එක ජීවිතයක්, ජීවිත දෙකක්, ….(පෙ)…. ආදී වශයෙන් ආකාර සහිතව, සවිස්තරව, අනේකප්‍රකාර වූ කලින් ගත කළ ජීවිත ගැන සිහි කරනවා. ඔහු විසින් සාක්ෂාත් කරන ප්‍රථම විද්‍යාව මෙයයි. අවිද්‍යාව වැනසුනා. විද්‍යාව ඉපදුනා. අඳුර දුරුවුනා. ආලෝකය උදාවුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතුව ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිදු විය යුතු යම් විදිහක් ඇද්ද, එය එවැනි දෙයක්.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, සත්වයන්ගේ චුතියත් උපතත් දකිනා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. එතකොට ඒ භික්ෂුව මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් ….(පෙ)…. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා. ඔහු විසින් සාක්ෂාත් කරන දෙවෙනි විද්‍යාව මෙයයි. අවිද්‍යාව වැනසුනා. විද්‍යාව ඉපදුනා. අඳුර දුරුවුනා. ආලෝකය උදාවුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතුව ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිදු විය යුතු යම් විදිහක් ඇද්ද, එය එවැනි දෙයක්.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, කලින් ජීවිතය ගත කළ ආකාරය දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. එතකොට ඔහු මෙය දුක නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. ….(පෙ)…. මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන් දැනගන්නවා. මේවා ආශ්‍රව කියලා යථාර්ථ වශයෙන් දැනගන්නවා. ….(පෙ)…. මෙය ආශ්‍රව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා යථාර්ථ වශයෙන් දැනගන්නවා. ඒ භික්ෂුව ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැකගනිද්දී, කාම ආශ්‍රවයන්ගෙනුත් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයන්ගෙනුත් සිත නිදහස් වෙනවා. අවිජ්ජා ආශ්‍රවයන්ගෙනුත් සිත නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වුණු බවට ඤාණය ඇතිවෙනවා. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දෙය කළා. නැවැත සසර ගමනක් නැතැ’යි අවබෝධයෙන්ම දැනගන්නවා. ඔහු විසින් සාක්ෂාත් කරන තුන්වෙනි විද්‍යාව මෙයයි. අවිද්‍යාව වැනසුනා. විද්‍යාව ඉපදුනා. අඳුර දුරුවුනා. ආලෝකය උදාවුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතුව ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිදු විය යුතු යම් විදිහක් ඇද්ද, එය එවැනි දෙයක්.
20. යමෙක් සීලයෙහි මනාව පිහිටා ඇද්ද, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැතිව ධර්මයෙහි හැසිරෙද්ද, සමාහිත සිතක් ඇත්තේ ද, තැනට සුදුසු නුවණැති ධ්‍යාන වැඩූ යමෙකු ගේ සිත තම වසඟයේ පවතිනවාද, එකඟව තිබෙනවාද, මැනැවින්ම සමාහිතව තිබෙනවාද,
21. යම් කෙනෙක් පෙර විසූ කඳ පිළිවෙල දන්නවා නම්, ස්වර්ගය හා අපාය දකිනවා නම්, ඒ වගේම තමා තුළ උපදවාගත් විශිෂ්ට නුවණින් යුතුව නිවන් මග සම්පූර්ණ කරගනිමින් උපතේ ක්ෂය වීම වූ නිවනට පැමිණියා නම්,
22. මෙකී ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වූ කෙනා තමයි ත්‍රිවිද්‍යාලාභී බ්‍රාහ්මණයා වන්නේ. මා අන්න ඔහුට තමයි ත්‍රිවිද්‍යාලාභී කෙනා කියලා කියන්නේ. කියන්නං වාලේ කවුරුත් කියනවාට ත්‍රිවිද්‍යාලාභියා කියා කියන්නේ නෑ.
පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඔය විදිහටයි ආර්ය විනයෙහි ත්‍රිවිද්‍යාලාභියෙක් වන්නේ.”
“භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයන්ගේ ත්‍රිවිද්‍යාලාභියා ඉතා වෙනස්මයි. ආර්ය විනයෙහි ත්‍රිවිද්‍යාලාභියා ඉතා වෙනස්මයි. භවත් ගෞතමයන් වහන්ස, ආර්ය විනයෙහි ත්‍රිවිද්‍යාලාභී කෙනා හට බ්‍රාහ්මණයන්ගේ ත්‍රිවිද්‍යාලාභියා සොළොස්වන කලාවටවත් වටින්නේ නෑ.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි. ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්ස, මා අද පටන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගෙන වදාරණ සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M