08. එදා තිකණ්ණ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ ….(පෙ)…. එකත්පස්ව වාඩිවුන තිකණ්ණ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ත්‍රිවේදප්‍රාප්ත බ්‍රාහ්මණයන් ගැනම වර්ණනා කළා. ‘ත්‍රිවිද්‍යා බ්‍රාහ්මණවරු මෙන්න මේ විදිහයි. ත්‍රිවිද්‍යා බ්‍රාහ්මණවරු මෙන්න මේ විදිහයි’ කියලා.
“පින්වත් බ්‍රාහ්මණය, බ්‍රාහ්මණවරු බ්‍රාහ්මණයෙකුව ත්‍රිවිද්‍යා ඇති කෙනෙක් බවට පණවන්නේ කවර කරුණු මතද?” “භවත් ගෞතමයන් වහන්ස, මෙහි බ්‍රාහ්මණයා මව්පිය දෙපාර්ශවයෙන්ම පිරිසිදු වූ, සුජාත උපතක් ඇති කෙනෙක්. පිරිසිදු මව්කුසක උපන් ඔහු හත් මුතු පරම්පරාවෙන්ම උපන් ජාතිය නින්දා නොලබා, ගැරහුම් නොලබා තිබිය යුතුයි. ඒ වගේම ඔහු වේද හදාරන කෙනෙක්. මන්ත්‍රධාරී කෙනෙක්. ඉතිහාසය පස්වෙනි කොට ඇති වේදසමයාගත භාෂා ශාස්ත්‍රයන්හි නිපුණත්වයක් ඇති අක්ෂර ප්‍රභේද ගැන හසල බුද්ධිය ඇති ත්‍රිවේද පරප්‍රාප්ත කෙනෙක්. වේදසමයාගත පද පාඨ දන්නා කෙනෙක්. ව්‍යාකරණ දන්නා කෙනෙක්. ලෝකායත ශාස්ත්‍රයෙහි, මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයෙහි නිපුණ කෙනෙක්. භවත් ගෞතමයන් වහන්ස, ඔන්න ඔය විදිහටයි බ්‍රාහ්මණවරු ත්‍රිවිද්‍යා බ්‍රාහ්මණයෙක්ව පණවන්නේ.”
“පින්වත් බ්‍රාහ්මණය, බ්‍රාහ්මණවරු ත්‍රිවිද්‍යා බ්‍රාහ්මණයෙක්ව පණවන්නේ වෙනස් විදිහකට නෙව. ආර්ය විනයෙහි (බුදු සසුනෙහි) ත්‍රිවිද්‍යා ඇති කෙනා පණවන්නේ ඔයිට වඩා වෙනස් ආකාරයටයි.” “භවත් ගෞතමයන් වහන්ස, ආර්ය විනයෙහි ත්‍රිවිද්‍යා ඇති කෙනා පණවන්නේ කොයි ආකාරයෙන්ද? භවත් ගෞතමයන් වහන්සේ යම් ආකාරයකින් ආර්ය විනයෙහි ත්‍රිවිද්‍යාලාභියෙක් ඇද්ද, ඒ අයුරින් මා හට ධර්මය දේශනා කරන සේක්වා!” “එසේ වී නම් පින්වත් බ්‍රාහ්මණය, සවන් දෙන්න. හොඳින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්” “එසේය, භවත” කියා තිකණ්ණ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.
“පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමු වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ආධ්‍යාත්මිකව පැහැදීම ඇතිව සිතෙහි මනා එකඟ බවෙන් යුතුව විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත්, ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම ප්‍රීතියටද නොඇලීමෙන් උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. සිහියෙන් නුවණින් යුතුව කයෙන් සැපයක්ද විඳිනවා. ආර්යන් වහන්සේලා යම් ධ්‍යානයකට උපේක්ෂා සහගත සිහිය ඇති සැප විහරණය යැයි පවසනවාද, ඒ තුන්වන ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම සැපයද ප්‍රහාණය කිරීමෙන්, දුකද ප්‍රහාණය කිරීමෙන්, කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්මයෑමෙන්, දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂා සහගත සතිය ඇති සතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, කලින් ජීවිතය ගත කළ ආකාරය දක්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. ඉතින් ඔහු නොයෙක් ආකාරයෙන් කලින් ජීවිත ගෙවූ හැටි (ආපස්සට) සිහි කරනවා. ඒ කියන්නේ, එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සියයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්, අනේකවිධ වූ සංවට්ට කල්පයන්ද, අනේකවිධ වූ විවට්ට කල්පයන්ද, අනේකවිධ වූ සංවට්ට විවට්ට කල්පයන්ද සිහි කරනවා. ‘මං ඉස්සර හිටියේ අසවල් තැන. එතකොට මගේ නම මේකයි. ගෝත්‍ර නාමය මේකයි. හැඩරුව මෙහෙමයි. කෑම බීම මෙහෙමයි. දුක් සැප වින්ඳේ මේ විදිහටයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. ඒ මං එතැනින් චුත වුනා. අසවල් තැන උපන්නා. එතකොට මගේ නම මේකයි. ගෝත්‍ර නාමය මේකයි. හැඩරුව මෙහෙමයි. කෑම බීම මෙහෙමයි. දුක් සැප වින්ඳේ මේ විදිහටයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. ඒ මං එතැනින් චුත වුනා. මේ ලෝකයේ උපන්නා’ ආදී වශයෙන් ආකාර සහිතව, සවිස්තරව, අනේකප්‍රකාර වූ කලින් ගත කළ ජීවිත ගැන සිහි කරනවා. ඔහු විසින් සාක්ෂාත් කරන ප්‍රථම විද්‍යාව මෙයයි. අවිද්‍යාව වැනසුනා. විද්‍යාව ඉපදුනා. අඳුර දුරුවුනා. ආලෝකය උදාවුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතුව ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිදු විය යුතු යම් විදිහක් ඇද්ද, එය එවැනි දෙයක්.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, සත්වයන්ගේ චුතියත් උපතත් දකිනා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. එතකොට ඒ භික්ෂුව මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත්, සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා. ‘අහෝ! මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, මනසින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිසදිටු වෙලා, මිසදිටු දේවල් සමාදන් වෙලා ඉඳල තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ අපාය නම් වූ, දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ ඉපදිලා ඉන්නවා. ඒ වගේම මේ භවත් සත්වයන් කයින් සුචරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් සුචරිතයෙහි යෙදීම නිසා, මනසින් සුචරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට, සම්දිටු වෙලා, සම්දිටු දේවල් සමාදන් වෙලා ඉඳල තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ සුගතය නම් වූ, ස්වර්ග ලෝකයෙහි ඉපදිලා ඉන්නවා’ කියලා. මේ විදිහට මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන්ව දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා. ඔහු විසින් සාක්ෂාත් කරන දෙවෙනි විද්‍යාව මෙයයි. අවිද්‍යාව වැනසුනා. විද්‍යාව ඉපදුනා. අඳුර දුරුවුනා. ආලෝකය උදාවුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතුව ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිදු විය යුතු යම් විදිහක් ඇද්ද, එය එවැනි දෙයක්.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ආශ්‍රව ක්ෂය කිරීම පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. එතකොට ඔහු මෙය දුක නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධවීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන් දැනගන්නවා. මේවා ආශ්‍රව කියලා යථාර්ථ වශයෙන් දැනගන්නවා. මෙය ආශ්‍රවයන්ගේ හටගැනීම කියලා යථාර්ථ වශයෙන් දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම කියලා යථාර්ථ වශයෙන් දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා යථාර්ථ වශයෙන් දැනගන්නවා. ඒ භික්ෂුව ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැකගනිද්දී, කාම ආශ්‍රවයන්ගෙනුත් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයන්ගෙනුත් සිත නිදහස් වෙනවා. අවිජ්ජා ආශ්‍රවයන්ගෙනුත් සිත නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වුණු බවට ඤාණය ඇතිවෙනවා. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දෙය කළා. නැවැත සසර ගමනක් නැතැ’යි අවබෝධයෙන්ම දැනගන්නවා. ඔහු විසින් සාක්ෂාත් කරන තුන්වෙනි විද්‍යාව මෙයයි. අවිද්‍යාව වැනසුනා. විද්‍යාව ඉපදුනා. අඳුර දුරුවුනා. ආලෝකය උදාවුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතුව ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිදු විය යුතු යම් විදිහක් ඇද්ද, එය එවැනි දෙයක්.
15. සීලයෙහි මනාව පිහිටි, තැනට සුදුසු නුවණැති ධ්‍යාන වැඩූ යමෙකු ගේ සිත තම වසඟයේ පවතිනවාද, එකඟව තිබෙනවාද, මැනැවින්ම සමාහිතව තිබෙනවාද,
16. ඒකාන්තයෙන්ම ඔහු අවිඳු අඳුර දුරු කළ, වීරියවන්ත වූ, මාරයා බැහැර කළා වූ, දෙව්මිනිසුන්ගේ යහපතට පිළිපන්නා වූ, හැම කෙලෙස් ප්‍රහාණය කළා වූ, ත්‍රිවිද්‍යාලාභී කෙනෙක් කියලයි බුද්ධාදී උතුමන් පවසන්නේ.
17. මෙකී ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වූ, නොමුලා සිහියෙන් වාසය කරන්නා වූ, අන්තිම සිරුර දරන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ හට දෙව් මිනිස් ලෝකයා වන්දනා කරනවාමයි.
18. යම් කෙනෙක් පෙර විසූ කඳ පිළිවෙල දන්නවා නම්, ස්වර්ගය හා අපාය දකිනවා නම්, ඒ වගේම තමා තුළ උපදවාගත් විශිෂ්ට නුවණින් යුතුව නිවන් මග සම්පූර්ණ කරගනිමින් උපතේ ක්ෂය වීම වූ නිවනට පැමිණියා නම්,
19. මෙකී ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වූ කෙනා තමයි ත්‍රිවිද්‍යාලාභී බ්‍රාහ්මණයා වන්නේ. මා අන්න ඔහුට තමයි ත්‍රිවිද්‍යාලාභී කෙනා කියලා කියන්නේ. කියන්නං වාලේ කවුරුත් කියනවාට ත්‍රිවිද්‍යාලාභියා කියා කියන්නේ නෑ.
පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඔය විදිහටයි ආර්ය විනයෙහි ත්‍රිවිද්‍යාලාභියෙක් වන්නේ.”
“භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයන්ගේ ත්‍රිවිද්‍යාලාභියා ඉතා වෙනස්මයි. ආර්ය විනයෙහි ත්‍රිවිද්‍යාලාභියා ඉතා වෙනස්මයි. භවත් ගෞතමයන් වහන්ස, ආර්ය විනයෙහි ත්‍රිවිද්‍යාලාභී කෙනා හට බ්‍රාහ්මණයන්ගේ ත්‍රිවිද්‍යාලාභියා සොළොස්වන කලාවටවත් වටින්නේ නෑ.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි. ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්ස, මා අද පටන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගෙන වදාරණ සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M