අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.5.9.

හිමවන්තං භික්ඛවේ, පබ්බතරාජං නිස්සාය මහාසාලා තීහි වඩ්ඪිහි වඩ්ඪන්ති. කතමාහි තීහි? සාඛාපත්තපලාසේන වඩ්ඪන්ති, තචපපටිකාය වඩ්ඪන්ති, ඵෙග්ගුසාරේන වඩ්ඪන්ති. හිමවන්තං භික්ඛවේ, පබ්බතරාජං නිස්සාය මහාසාලා ඉමාහි තීහි වඩ්ඪිහි වඩ්ඪන්ති.

පින්වත් මහණෙනි, හිමාල පර්වතරජායා නිසා මහා වෘක්ෂයෝ වැඩීම් තුනකින් වැඩෙනවා. කවර කාරණා තුනකින්ද? අතුපතරින්, කොළවලින් වැඩෙනවා. පොත්තෙන් වැඩෙනවා. එලයෙනුත්, අරටුවෙනුත් වැඩෙනවා. පින්වත් මහණෙනි, හිමවන්ත පර්වතරාජයා ඇසුරු කොට මහා වෘක්ෂයෝ මේ වැඩීම් තුනෙන් වැඩෙනවා.

ඒවමේවං ඛෝ භික්ඛවේ, සද්ධං කුලපතිං නිස්සාය අන්තෝජනෝ තීහි වඩ්ඪති වඩ්ඪති, කතමාහි තීහි? සද්ධාය වඩ්ඪති, සීලේන වඩ්ඪති, පඤ්ඤාය වඩ්ඪති. සද්ධං භික්ඛවේ, කුලපතිං නිස්සාය අන්තෝජනෝ ඉමාහි තීහි වඩ්ඪිහි වඩ්ඪතීති.

අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, පවුලකට අධිපති වූ ශ්‍රද්ධාවන්ත කෙනා නිසා, ඒ පවුලෙහි සිටින ජනතාවට වැඩීම් තුනකින් වැඩෙනවා. කවර තුනකින්ද? ශ්‍රද්ධාවෙන් වැඩෙනවා. සීලයෙන් වැඩෙනවා. ප්‍රඥාවෙන් වැඩෙනවා. පින්වත් මහණෙනි, පවුලකට අධිපති වූ ශ්‍රද්ධාවන්ත කෙනා නිසා, ඒ පවුලෙහි සිටින ජනතාවත් මේ වැඩීම් තුනෙන් වැඩෙනවා.

යථාපි පබ්බතෝ සේලෝ අරඤ්ඤස්මිං බ්‍රහාවනේ,
තං රුක්ඛා උපනිස්සාය වඩ්ඪන්තේ තේ වනස්පතී.

අරණ්‍යයෙහි, මහා වනයෙහි, ශෛලමය පර්වතයක් යම්බඳු නම්, එබඳු වූ පර්වතය ඇසුරු කරගෙන ඒ වනස්පති වූ මහා වෘක්ෂයෝ වැඩෙනවා.

තථේව සීලසම්පන්නං සද්ධං කුලපතිං ඉධ,
උපනිස්සාය වඩ්ඪන්ති පුත්තදාරා ච බන්ධවා,
අමච්චා ඤාතිසංඝා ච යේ චස්ස අනුජීවිනෝ.

ඒ අයුරින්ම සීලසම්පන්න වූත්, ශ්‍රද්ධාවන්ත වූත් කෙනෙක් මෙහි පවුලක ප්‍රධානියා වූ විට ඔහු ඇසුර කරගෙන අඹුදරුවන්ද, නෑදෑයන්ද, යහළුවන්ද, අනෙක් ඤාතීන් සමූහයාද ඔහු අනුව යමින් ගුණ දහමින් වැඩෙනවා.

ත්‍යාස්ස සීලවතෝ සීලං චාගං සුචරිතානි ච,
පස්සමානානුකුබ්බන්ති යේ භවන්ති විචක්ඛණා.

යමෙක් විචක්ෂණ නුවණින් යුක්ත නම්, ඔවුන් ඒ සිල්වත් තැනැත්තාගේ සීලය, ත්‍යාගය, සුචරිත පැවැත්ම ආදිය දකිමින් ඒ අනුව ක්‍රියා කරනවා.

ඉධ ධම්මං චරිත්වාන මග්ගං සුගතිගාමිනං,
නන්දිනෝ දේවලෝකස්මිං මෝදන්ති කාමකාමිනෝති.

මෙලොවදී සුගතිගාමීව ධර්ම මාර්ගයේ හැසිර, තමා විසින් කරගත් පින් ගැන සතුටු වෙමින් පස්කම් සැපය කැමැතිව දෙව්ලොව ඉපදී සන්තෝෂ වෙනවා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M