එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනී, යම් පරිද්දකින් මේ විඤ්ඤාණය සහිත කය පිළිබඳව ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇති නොවෙනවා නම්, බාහිර සෑම නිමිත්තක් තුළම ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇති නොවෙනවා නම්, ඒ වගේ යම් චිත්ත විමුක්තියකට, ප්‍රඥා විමුක්තියකට පැමිණ වාසය කරද්දී ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇති නොවෙනවා නම්, භික්ෂුව හට එබඳු චිත්ත විමුක්තියකට ප්‍රඥා විමුක්තියකට පැමිණ වාසය කරන්නේ නම් එබඳු වූ සමාධියකට සමවැදීමක් තිබෙනවාද?”
“පින්වත් ආනන්ද, භික්ෂුව හට එබඳු චිත්ත විමුක්තියකට ප්‍රඥා විමුක්තියකට පැමිණ වාසය කිරීමක් තිබෙනවාමයි. යම් පරිද්දකින් මේ විඤ්ඤාණය සහිත කය පිළිබඳව ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇතිනොවෙනවා නම්, බාහිර සෑම නිමිත්තක් තුළම ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇතිනොවෙනවා නම්, එබඳු චිත්ත විමුක්තියකට, ප්‍රඥා විමුක්තියකට පැමිණ වාසය කරන්නේ නම් එබඳු වූ සමවැදීමක් තිබෙනවා.”
“ස්වාමීනී, යම් පරිද්දකින් මේ විඤ්ඤාණය සහිත කය පිළිබඳව ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇතිනොවෙනවා නම්, බාහිර සෑම නිමිත්තක් තුළම ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇතිනොවෙනවා නම්, ඒ වගේ යම් චිත්ත විමුක්තියකට, ප්‍රඥා විමුක්තියකට පැමිණ වාසය කරද්දී ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇතිනොවෙනවා නම්, භික්ෂුව හට එබඳු චිත්ත විමුක්තියකට ප්‍රඥා විමුක්තියකට පැමිණ වාසය කිරීමක් තිබෙනවා නම්, භික්ෂුවගේ එබඳු සමාධි ප්‍රතිලාභය කොයි ආකාර දෙයක්ද?”
“පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුවට මෙවැනි හැඟීමක් ඇතිවෙනවා. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇද්ද, සියලු ක්ලේශ සහගත කර්මයන්ගේ දුරුවීමක් ඇද්ද, තෘෂ්ණාව ක්ෂය වීමක් ඇද්ද, කෙලෙසුන් කෙරෙහි නොඇල්මක් ඇද්ද, තෘෂ්ණා නිරෝධයක් ඇද්ද, නිවනක් ඇද්ද, මෙයයි ශාන්ත. මෙයයි ප්‍රණීත යන හැඟීමෙන් යුතු සමාධියයි. පින්වත් ආනන්ද, භික්ෂුවට ඔය ආකාර වූ සමාධියක් තිබෙනවා නම්, යම් පරිද්දකින් මේ විඤ්ඤාණය සහිත කය පිළිබඳව ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇතිනොවෙනවා නම්, බාහිර සෑම නිමිත්තක් තුළම ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇතිනොවෙනවා නම්, එබඳු වූ චිත්ත විමුක්තියකට, ප්‍රඥා විමුක්තියට පැමිණ වාසය කිරීමක් තිබෙනවා. පින්වත් ආනන්ද, මේ කරුණු උදෙසා තමයි පාරායන වර්ගයේ පුණ්ණක ප්‍රශ්නයේදී මා විසින් මෙය වදාරණ ලද්දේ.
ලෝකයෙහි ආධාත්මික, බාහිර සියල්ල නුවණින් අවබෝධ කරගෙන, ලෝකයෙහි කිසිදු අරමුණකට යමෙක් තුළ කෙලෙස් කම්පනයක් ඇති නොවේ නම්, ඒ අරහත් භික්ෂුව ශාන්තයි. කෙලෙස් දුම් රහිතයි. දුක් රහිතයි. ආශා රහිතයි. ඔහු ඉපදෙන දිරන සසර සැඩ පහර තරණය කළා කියලයි මා කියන්නේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M