පින්වත් මහණෙනි, මේ පුද්ගලයින් තුන් දෙනෙක් ලෝකයේ දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? අන්ධ කෙනා, එක් ඇසක් ඇති කෙනා, ඇස් දෙකක් ඇති කෙනා. පින්වත් මහණෙනි, අන්ධ පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි මේ සමහර කෙනෙකුට මෙන්න මේ වගේ ඇසක් නෑ. ඒ කියන්නේ යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී නොලැබූ භෝග සම්පත් ලැබෙනවා නම්, ලැබුන භෝග සම්පත්වල වැඩීමකට පත්වෙනවා නම්, ඒ වගේම යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී කුසල් අකුසල් දන්නවා නම්, වැරදි දේ නිවැරදි දේ දන්නවා නම්, උසස් පහත් දේවල් දන්නවා නම්, එකිනෙකට වෙනස් වූ අයහපත්, යහපත් දේවල් ගැන දැනගන්නවා නම්, ඒ වගේ ඇසකුත් ඔහුට නෑ. පින්වත් මහණෙනි, මොහුට තමයි කියන්නේ අන්ධ පුද්ගලයා කියලා.
පින්වත් මහණෙනි, එක ඇසක් ඇති පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි මේ සමහර කෙනෙකුට මෙන්න මේ වගේ ඇසක් තිබෙනවා. ඒ කියන්නේ යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී නොලැබූ භෝග සම්පත් ලැබෙනවා නම්, ලැබුන භෝග සම්පත්වල වැඩීමකට පත්වෙනවා නම්, එවැනි ඇසක් තිබෙනවා. නමුත් යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී කුසල් අකුසල් දන්නවා නම්, වැරදි දේ නිවැරදි දේ දන්නවා නම්, උසස් පහත් දේවල් දන්නවා නම්, එකිනෙකට වෙනස් වූ අයහපත්, යහපත් දේවල් ගැන දැනගන්නවා නම්, ඒ වගේ ඇසක් ඔහුට නෑ. පින්වත් මහණෙනි, මොහුට තමයි කියන්නේ එක් ඇසක් ඇති පුද්ගලයා කියලා.
පින්වත් මහණෙනි, ඇස් දෙකම ඇති පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි මේ සමහර කෙනෙකුට මෙන්න මේ වගේ ඇසක් තිබෙනවා. ඒ කියන්නේ යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී නොලැබූ භෝග සම්පත් ලැබෙනවා නම්, ලැබුන භෝග සම්පත්වල වැඩීමකට පත්වෙනවා නම්, එවැනි ඇසක් තිබෙනවා. ඒ වගේම යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී කුසල් අකුසල් දන්නවා නම්, වැරදි දේ නිවැරදි දේ දන්නවා නම්, උසස් පහත් දේවල් දන්නවා නම්, එකිනෙකට වෙනස් වූ අයහපත්, යහපත් දේවල් ගැන දැනගන්නවා නම්, ඒ වගේ ඇසකුත් ඔහුට තියෙනවා. පින්වත් මහණෙනි, මොහුට තමයි කියන්නේ ඇස් දෙකම ඇති පුද්ගලයා කියලා. පින්වත් මහණෙනි, මේ තමයි ලෝකයේ දකින්න ලැබෙන පුද්ගලයින් තුන් දෙනා.
අන්ධ කෙනා හට, නැසී ගිය දෑස් ඇති කෙනා හට, ඇස් ඇති කෙනෙකුට ලැබෙන යම්බඳු භෝග ඇත්නම්, ඒවත් නෑ. ඒ වගෙම පින් රැස් කිරීමකුත් නෑ. ඒ පුද්ගලයාට දෙලොව තිබෙන්නේ පරාජයක්ම යි.
තථාගතයන් වහන්සේ විසින් එක් ඇසක් පමණක් තිබෙන පුද්ගලයෙක් ගැන වදාරණ ලද්දේය. ඔහු ධාර්මිකවත්, අධාර්මිකවත්, කෛරාටිකවත් භෝගසම්පත් හොයන කෙනෙක්.
කම් සැප විඳින ඒ මනුෂ්‍යයා සොරකමින් යුතු කූට ව්‍යාපාර තුළිනුත්, බොරුවෙනුත් යන දෙකෙන්ම භෝග සම්පත් රැස් කරගන්නට දක්ෂයි. නමුත් ඒ එකැස් ඇති පුද්ගලයා මෙයින් චුතව නිරයට ගිහින් වැනසී යනවා.
තථාගතයන් වහන්සේ විසින් දෑස් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ගැන වදාරණ ලද්දේ ඔහු නැගී සිටි වීර්යයෙන් යුක්තව ධාර්මිකව ලැබෙන්නා වූ ධනය උපයා ගන්නවා.
ඔහු ශ්‍රේෂ්ඨ අදහස් ඇති කෙනෙක්. ධර්මය කෙරෙහි සැක රහිත සිත් ඇති කෙනෙක්. ඔහු පින් රැස් කිරීම නිසා යම් තැනකට ගොස් ශෝක නොකරයි නම්, එබඳු සොඳුරු ලොවකට පැමිණෙනවා.
දෙලොව නොදක්නා අන්ධ කෙනාත්, මෙලොව පමණක් දක්නා එකැස් ඇති කෙනාත් දුරින්ම දුරු කළ යුතුයි. දෑස් ඇති ශ්‍රේෂ්ඨ පුරුෂ පුද්ගලයාව තමයි සේවනය කළ යුත්තේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M