පින්වත් මහණෙනි, මේ පුද්ගලයින් තුන් දෙනෙක් ලෝකයේ දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? අවකුජ්ජපඤ්ඤා පුද්ගලයා, උච්ඡංගපඤ්ඤා පුද්ගලයා, පුථුපඤ්ඤා පුද්ගලයා.
පින්වත් මහණෙනි, අවකුජ්ජපඤ්ඤා (යටට හැර වූ නුවණ ඇති) පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් භික්ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර නිතර ආරාමයට යනවා. ඔහුට ඒ භික්ෂූන් වහන්සේලා ආරම්භය යහපත් වූත්, මැද යහපත් වූත්, අවසානය යහපත් වූත්, අර්ථ සහිත වූත්, යහපත් පද ගැළපීමෙන් යුතු වූත්, මුළුමණින්ම සම්පූර්ණ වූ පිරිසිදු නිවන් මඟ සහිත ධර්මය දේශනා කරනවා. ඉතින් ඔහු ඒ ආසනයේ සිටින්නේ නමුත්, ඒ ධර්ම කථාවේ මුල සිහිකරන්නේ නෑ. මැද සිහිකරන්නේ නෑ. අවසානය සිහිකරන්නේ නෑ. ඒ ආසනයෙන් නැගී සිටිය විට දී වත් ඒ ධර්ම කථාවේ මුල සිහිකරන්නේ නෑ. මැද සිහිකරන්නේ නෑ. අවසානය සිහිකරන්නේ නෑ. පින්වත් මහණෙනි, ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. මුනින් අතට හරවපු කලයක් තියෙනවා. ඒකට වතුර වත්කළ විට පිටතට ගලා යනවා. රැඳී පවතින්නේ නෑ. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් භික්ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර නිතර ආරාමයට යනවා. ඔහුට ඒ භික්ෂූන් වහන්සේලා ආරම්භය යහපත් වූත්, මැද යහපත් වූත්, අවසානය යහපත් වූත්, අර්ථ සහිත වූත්, යහපත් පද ගැළපීමෙන් යුතු වූත්, මුළුමනින්ම සම්පූර්ණ වූ පිරිසිදු නිවන් මග සහිත ධර්මය දේශනා කරනවා. ඉතින් ඔහු ඒ ආසනයේ සිටින්නේ නමුත්, ඒ ධර්ම කථාවේ මුල සිහිකරන්නේ නෑ. මැද සිහිකරන්නේ නෑ. අවසානය සිහිකරන්නේ නෑ. ඒ ආසනයෙන් නැගී සිටිය විට දී වත් ඒ ධර්ම කථාවේ මුල සිහිකරන්නේ නෑ. මැද සිහිකරන්නේ නෑ. අවසානය සිහිකරන්නේ නෑ. පින්වත් මහණෙනි, මොහුට තමයි අවකුජ්ජපඤ්ඤා පුද්ගලයා කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, උච්ඡංගපඤ්ඤා (ඔඩොක්කුවේ නුවණ ඇති) පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් භික්ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර නිතර ආරාමයට යනවා. ඔහුට ඒ භික්ෂූන් වහන්සේලා ආරම්භය යහපත් වූත්, මැද යහපත් වූත්, අවසානය යහපත් වූත්, අර්ථ සහිත වූත්, යහපත් පද ගැළපීමෙන් යුතු වූත්, මුළුමනින්ම සම්පූර්ණ වූ පිරිසිදු නිවන් මග සහිත ධර්මය දේශනා කරනවා. ඉතින් ඔහු ඒ ආසනයේ සිටින විට ඒ ධර්ම කථාවේ මුලත් සිහිකරනවා. මැදත් සිහිකරනවා. අවසානයත් සිහිකරනවා. ඒ ආසනයෙන් නැගී සිටිය විට දී ඒ ධර්ම කථාවේ මුල සිහිකරන්නේ නෑ. මැද සිහිකරන්නේ නෑ. අවසානය සිහිකරන්නේ නෑ. පින්වත් මහණෙනි, ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. පුරුෂයෙකුගේ ඔඩොක්කුවේ තල, සහල්, අග්ගලා ඩෙබර ආදී නොයෙක් කෑ යුතු දේවල් පිරී තියෙනවා. නමුත් ඔහු කල්පනාවකින් තොරව නැගිටින විට දී අර සියල්ල බිම විසිරිලා යනවා. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් භික්ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර නිතර ආරාමයට යනවා. ඔහුට ඒ භික්ෂූන් වහන්සේලා ආරම්භය යහපත් වූත්, මැද යහපත් වූත්, අවසානය යහපත් වූත්, අර්ථ සහිත වූත්, යහපත් පද ගැළපීමෙන් යුතු වූත්, මුළුමනින්ම සම්පූර්ණ වූ පිරිසිදු නිවන් මඟ සහිත ධර්මය දේශනා කරනවා. ඉතින් ඔහු ඒ ආසනයේ සිටින විට ඒ ධර්ම කථාවේ මුලත් සිහිකරනවා. මැදත් සිහිකරනවා. අවසානයත් සිහිකරනවා. ඒ ආසනයෙන් නැගී සිටිය විට දී ඒ ධර්ම කථාවේ මුල සිහිකරන්නේ නෑ. මැද සිහිකරන්නේ නෑ. අවසානය සිහිකරන්නේ නෑ. පින්වත් මහණෙනි, මොහුට තමයි උච්ඡංගපඤ්ඤා පුද්ගලයා කියල කියන්නේ.
පින්වත් මහණෙනි, පුථුපඤ්ඤා (පළල් වූ නුවණ ඇති) පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් භික්ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර නිතර ආරාමයට යනවා. ඔහුට ඒ භික්ෂූන් වහන්සේලා ආරම්භය යහපත් වූත්, මැද යහපත් වූත්, අවසානය යහපත් වූත්, අර්ථ සහිත වූත්, යහපත් පද ගැළපීමෙන් යුතු වූත්, මුළුමනින්ම සම්පූර්ණ වූ පිරිසිදු නිවන් මග සහිත ධර්මය දේශනා කරනවා. ඉතින් ඔහු ඒ ආසනයේ සිටින විට ඒ ධර්ම කථාවේ මුලත් සිහිකරනවා. මැදත් සිහිකරනවා. අවසානයත් සිහිකරනවා. ඒ ආසනයෙන් නැගී සිටිය විට දී ද, ඒ ධර්ම කථාවේ මුල සිහිකරනවා. මැද සිහිකරනවා. අවසානය සිහිකරනවා. පින්වත් මහණෙනි, ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. උඩු අතට හරවපු කලයක් තියෙනවා. ඒකට වතුර වත්කළ විට රැඳී පවතිනවා. පිටතට ගලා යන්නේ නෑ. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් භික්ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර නිතර ආරාමයට යනවා. ඔහුට ඒ භික්ෂූන් වහන්සේලා ආරම්භය යහපත් වූත්, මැද යහපත් වූත්, අවසානය යහපත් වූත්, අර්ථ සහිත වූත්, යහපත් පද ගැළපීමෙන් යුතු වූත්, මුළුමණින්ම සම්පූර්ණ වූ පිරිසිදු නිවන් මග සහිත ධර්මය දේශනා කරනවා. ඉතින් ඔහු ඒ ආසනයේ සිටින විට ඒ ධර්ම කථාවේ මුලත් සිහිකරනවා. මැදත් සිහිකරනවා. අවසානයත් සිහිකරනවා. ඒ ආසනයෙන් නැගී සිටිය විට දී ද, ඒ ධර්ම කථාවේ මුල සිහිකරනවා. මැද සිහිකරනවා. අවසානය සිහිකරනවා. පින්වත් මහණෙනි, මොහුට තමයි පුථුපඤ්ඤා පුද්ගලයා කියල කියන්නේ. පින්වත් මහණෙනි, මේ තමයි මේ ලෝකයේ දකින්නට ලැබෙන පුද්ගලයන් තුන් දෙනා.
ප්‍රඥා රහිත වූ නුවණින් විමසීමෙන් තොර වූ යටට හැර වූ නුවණ ඇති අවකුජ්ජපඤ්ඤා පුද්ගලයා ඉදින් නිතර නිතර නමුත් භික්ෂූන් සමීපයට බණ ඇසීමට ගියද,
ඔහු ඒ ධර්ම කථාවේ මුල හෝ මැද හෝ අවසානය හෝ ඉගෙන ගන්නට හැකියාව ඇති නොකර ගනී. ඔහු තුළ ප්‍රඥාව දිස්වන්නේ නෑ.
ඔඩොක්කුවේ නුවණ ඇති හෙවත්, උච්ඡංගපඤ්ඤා පුරුෂයා අර පුද්ගලයාට වඩා ශ්‍රේෂ්ඨ යැයි කියන්න පුළුවනි. ඉදින් ඔහුට නිතර නිතර දහම් ඇසීමට භික්ෂූන් සමීපයට ගියද,
ඔහු ආසනයේ හිඳිමින් ධර්ම කථාවේ මුලත්, මැදත්, අගත් ඉගෙන එහි දහම් පදයන් දරාගෙන සිටියත්, නැගී සිටින විට දී, ඒ ඇසූ දේ ගැන දන්නේ නෑ. සිතට ගත්තු දේ නැති වෙලා යනවා.
පළල් ප්‍රඥා ඇති පුථුපඤ්ඤා පුරුෂයා අර දෙදෙනාටම වඩා ශ්‍රේෂ්ඨයි කියලයි කියන්නේ. ඔහුද භික්ෂූන් සමීපයට නිතර නිතර බණ ඇසීමට යයි.
ඔහු ආසනයේ හිඳිමින් ධර්ම කථාවේ මුලත්, මැදත්, අගත් ඉගෙන ගෙන එහි දහම් පදයන් දරාගෙන ඉන්නවා.
ශ්‍රේෂ්ඨ සංකල්පනා දරා සිටින ධර්මයෙහි සැක රහිත සිත් ඇති ඒ මනුෂ්‍යයා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙමින් සංසාර දුක කෙළවර කරන කෙනෙක් වෙනවා.
තුන්වෙනි පුද්ගල වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M