අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.3.8.

තයෝ’මේ භික්ඛවේ, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ තයෝ? ගූථභාණී, පුප්ඵභාණී, මධුභාණී.

පින්වත් මහණෙනි, මේ පුද්ගලයින් තුන් දෙනෙක් ලෝකයේ දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? ගූථභාණී, පුප්ඵභාණී, මධුභාණී.

කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ ගූථභාණී? ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ සභග්ගතෝ වා පරිසග්ගතෝ වා ඤාතිමජ්ඣගතෝ වා පූගමජ්ඣගතෝ වා රාජකුලමජ්ඣගතෝ වා අභිනීතෝ සක්ඛිපුට්ඨෝ “ඒහම්භෝ පුරිස, යං ජානාසි, තං වදේහී”ති. සෝ අජානං වා ආහ, “ජානාමී”ති. ජානං වා ආහ, “න ජානාමී”ති, අපස්සං වා ආහ, “පස්සාමී”ති, පස්සං වා ආහ, “න පස්සාමී”ති. ඉති අත්තහේතු වා පරහේතු වා ආමිසකිඤ්චික්ඛහේතු වා සම්පජානමුසා භාසිතා හෝති. අයං වුච්චති භික්ඛවේ, පුග්ගලෝ ගූථභාණී.

පින්වත් මහණෙනි, ගූථභාණී පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් සභාවකට ගියත්, පිරිසක් අතරට ගියත්, ඤාතීන් මැදට ගියත්, සේනා මැදට ගියත්, රාජ කුලයන් මැදට ගියත්, ඒ පිරිස අතර දී සාක්ෂි විමසද්දී ‘එම්බා පුරුෂය, යමක් දන්නවා නම් එය කියන්න’ කියලා. එතකොට ඔහු නො දන්නා දේ ගැනත් ‘දනිමි’ කියලා කියනවා. දන්නා දේ ගැන ‘නො දනිමි’ කියලා කියනවා. නො දැක්ක දේ ගැන ‘දකිමි’ කියල කියනවා. දැක්ක දේ ගැන ‘නො දකිමි’ කියලා කියනවා. මේ විදිහට තමන් නිසා වේවා, අනුන් නිසා වේවා, තමන්ට ලැබෙන කිසියම් ලාභයක් නිසා වේවා, දැන දැන බොරු කියනවා. පින්වත් මහණෙනි, මොහුට තමයි ගූථභාණී පුද්ගලයා කියන්නේ.

කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ පුප්ඵභාණී? ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ සභග්ගතෝ වා පරිසග්ගතෝ වා ඤාතිමජ්ඣගතෝ වා පූගමජ්ඣගතෝ වා රාජකුලමජ්ඣගතෝ වා අභිනීතෝ සක්ඛිපුට්ඨෝ, “ඒහම්භෝ පුරිස, යං ජානාසි තං වදේහී”ති. සෝ අජානං වා ආහ, “න ජානාමී”ති, ජානං වා ආහ, “ජානාමී”ති, අපස්සං වා ආහ, “න පස්සාමී”ති, පස්සං වා ආහ, “පස්සාමී”ති: ඉති අත්තහේතු වා පරහේතු වා ආමිසකිඤ්චික්ඛහේතු වා න සම්පජානමුසා භාසිතා හෝති. අයං වුච්චති භික්ඛවේ, පුග්ගලෝ පුප්ඵභාණී.

පින්වත් මහණෙනි, පුප්ඵභාණී පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් සභාවකට ගියත්, පිරිසක් අතරට ගියත්, ඤාතීන් මැදට ගියත්, සේනා මැදට ගියත්, රාජ කුලයන් මැදට ගියත්, ඒ පිරිස අතර දී සාක්ෂි විමසද්දී ‘එම්බා පුරුෂය, එන්න. යමක් දන්නවා නම් එය කියන්න’ කියලා. එතකොට ඔහු නො දන්නා දේ ගැන ‘නො දනිමි’ කියල කියනවා. දන්නා දේ ගැන ‘දනිමි’ කියලා කියනවා. නො දැක්ක දේ ගැන ‘නො දකිමි’ කියල කියනවා. දැක්ක දේ ගැන ‘දකිමි’ කියලා කියනවා. මේ විදිහට තමන් නිසා වේවා, අනුන් නිසා වේවා, තමන්ට ලැබෙන කිසියම් ලාභයක් නිසා වේවා, දැන දැන බොරු කියන්නේ නෑ. පින්වත් මහණෙනි, මොහුට තමයි පුප්ඵභාණී පුද්ගලයා කියන්නේ.

කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ මධුභාණී? ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති. යා සා වාචා නේලා කණ්ණසුඛා පේමනීයා හදයංගමා පෝරි බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං, වාචං භාසිතා හෝති. අයං වුච්චති භික්ඛවේ, පුග්ගලෝ මධුභාණී. ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති.

පින්වත් මහණෙනි, මධුභාණී පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු පරුෂ වචන අත්හැරලා, පරුෂ වචනයෙන් වෙන් වෙලා ඉන්නවා. යම් ඒ වචනයක් වැරදි නැත්නම්, කණට සුවදායක නම්, ආදරයක් ඇති වෙනවා නම්, හෘදයාංගම නම්, ආචාරශීලී කතාවෙන් යුතු නම්, බොහෝ දෙනා කැමැති, බොහෝ දෙනාට ප්‍රිය වචන ඇතිනම්, ඒ විදිහේ වචන කතා කරනවා. පින්වත් මහණෙනි, මොහුට තමයි මධුභාණී පුද්ගලයා කියලා කියන්නේ. පින්වත් මහණෙනි, මේ තමයි ලෝකයේ දකින්නට ලැබෙන පුද්ගලයන් තුන් දෙනා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M