පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනෙක් ලෝකයේ දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? නරක් වුන තුවාලයක් වැනි සිතක් ඇති පුද්ගලයාත්, විදුලිය වැනි සිතක් ඇති පුද්ගලයාත්, දියමන්තියක් වැනි සිතක් ඇති පුද්ගලයාත් ය.
පින්වත් මහණෙනි, නරක් වුණු තුවාලයක් වැනි සිතක් ඇති පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ක්‍රෝධ කරන කෙනෙක්. බහුල වශයෙන් කෝපය නිසා පීඩා විඳිනවා. ස්වල්ප දෙයක් කියූ කල්හිත් ඒ වචනයේ ම ගැලෙනවා. කිපෙනවා. තරහ ගන්නවා. අයහපත කැමැති වෙනවා. කෝපයත්, ද්වේෂයත්, නො සතුටත් පහළ කරනවා. පින්වත් මහණෙනි, එය නරක් වුණු තුවාලයක් වගෙයි. කෝටු කැබැල්ලකින් වේවා, ගල් කැටයකින් වේවා පොඩ්ඩක් ගැටුනොත් බොහෝ සෙයින් ම ලේ සැරව වැගිරෙනවා. අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ක්‍රෝධ කරන කෙනෙක්. බහුල වශයෙන් කෝපය නිසා පීඩා විඳිනවා. ස්වල්ප දෙයක් කියූ කල්හිත් ඒ වචනයේ ම ගැලෙනවා. කිපෙනවා. තරහ ගන්නවා. අයහපත කැමැති වෙනවා. කෝපයත්, ද්වේෂයත්, නො සතුටත් පහළ කරනවා. පින්වත් මහණෙනි, මෙයාට තමයි කියන්නේ නරක් වූ තුවාලයක් වැනි සිතක් ඇති පුද්ගලයා කියලා.
පින්වත් මහණෙනි, විදුලිය වැනි සිතක් තියෙන පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් ‘මෙය වනාහී දුක නම් වූ ආර්ය සත්‍යය යි’ කියා ඇති සැටියෙන් ම අවබෝධ කරනවා, ‘මෙය වනාහී දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යය යි’ කියා ඇති සැටියෙන් ම අවබෝධ කරනවා, ‘මෙය වනාහී දුක නැති වීම නම් වූ ආර්ය සත්‍යය යි’ කියා ඇති සැටියෙන් ම අවබෝධ කරනවා, ‘මෙය වනාහී දුක් නැති වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි’ කියා ඇති සැටියෙන් ම අවබෝධ කරනවා. පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. ඇස් ඇති පුරුෂයෙක් රාත්‍රී ඝන අන්ධකාරයේ විදුලි කොටන ආලෝකය පවතින වෙලාවට රූප දකිනවා. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් ‘මෙය වනාහී දුක නම් වූ ආර්ය සත්‍යය යි’ කියා ඇති සැටියෙන් ම අවබෝධ කරනවා, ….(පෙ)…. ‘මෙය වනාහී දුක් නැති වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි’ කියා ඇති සැටියෙන් ම අවබෝධ කරනවා. පින්වත් මහණෙනි, මෙයාට තමයි විදුලිය වැනි සිතක් ඇති පුද්ගලයා කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, දියමන්තියක් වැනි සිතක් ඇති පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් ආශ්‍රව ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේ දී ම තමන් විසින් ම සාක්ෂාත් කොට වාසය කරනවා. පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. දියමන්තියකින් බිඳින්නට බැරි විදිහේ කිසිම මැණිකක්වත්, පාෂාණයක්වත් නෑ. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් ආශ්‍රව ක්ෂය කිරීමෙන්, ….(පෙ)…. සාක්ෂාත් කොට වාසය කරනවා. පින්වත් මහණෙනි, මෙයාට තමයි දියමන්තියක් වැනි සිතක් ඇති පුද්ගලයා කියල කියන්නේ. පින්වත් මහණෙනි, මේ තමයි ලෝකයේ දකින්නට ලැබෙන පුද්ගලයන් තුන් දෙනා.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M