අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.3.4.

තයෝ’මේ භික්ඛවේ, පුග්ගලා පුග්ගලස්ස බහුකාරා. කතමේ තයෝ? යං භික්ඛවේ, පුග්ගලං ආගම්ම පුග්ගලෝ බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. අයං භික්ඛවේ, පුග්ගලෝ ඉමස්ස පුග්ගලස්ස බහුකාරෝ.

පින්වත් මහණෙනි, මේ පුද්ගලයින් තුන් දෙනෙක් පුද්ගලයෙකුට බොහෝ උපකාර යි. ඒ තුන් දෙනා කවුද? පින්වත් මහණෙනි, යම් පුද්ගලයෙකු කරා පැමිණ, ඔහු නිසා යම් පුද්ගලයෙක් බුදුන් සරණ ගියා නම්, දහම් සරණ ගියා නම්, සඟුන් සරණ ගියා නම්, පින්වත් මහණෙනි, මේ පුද්ගලයා තමයි අර පැමිණි පුද්ගලයාට බොහෝ උපකාර වූ කෙනා.

පුන ච පරං භික්ඛවේ, යං පුග්ගලං ආගම්ම පුග්ගලෝ ‘ඉදං දුක්ඛන්’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයෝ’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරෝධෝ’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. අයං භික්ඛවේ, පුග්ගලෝ ඉමස්ස පුග්ගලස්ස බහුකාරෝ.

ඒ ගැන තවදුරටත් කියනවා නම් පින්වත් මහණෙනි, යම් පුද්ගලයෙකු කරා පැමිණ, ඔහු නිසා යම් පුද්ගලයෙක් ‘මෙය වනාහී දුක නම් වූ ආර්ය සත්‍යය යි’ කියා ඇති සැටියෙන් ම අවබෝධ කරනවා නම්, ‘මෙය වනාහී දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යය යි’ කියා ඇති සැටියෙන් ම අවබෝධ කරනවා නම්, ‘මෙය වනාහී දුක නැති වීම නම් වූ ආර්ය සත්‍යය යි’ කියා ඇති සැටියෙන් ම අවබෝධ කරනවා නම්, ‘මෙය වනාහී දුක් නැති වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි’ කියා ඇති සැටියෙන් ම අවබෝධ කරනවා නම්, පින්වත් මහණෙනි, මේ පුද්ගලයා තමයි අර පැමිණි පුද්ගලයාට බොහෝ උපකාර වූ කෙනා.

පුන ච පරං භික්ඛවේ, යං පුග්ගලං ආගම්ම පුග්ගලෝ ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං භික්ඛවේ, පුග්ගලෝ ඉමස්ස පුග්ගලස්ස බහුකාරෝ. ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ පුග්ගලා පුග්ගලස්ස බහුකාරා.

ඒ ගැන තවදුරටත් කියනවා නම් පින්වත් මහණෙනි, යම් පුද්ගලයෙකු කරා පැමිණ, ඔහු නිසා යම් පුද්ගලයෙක් ආශ්‍රව ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේ දී ම තමන් විසින් ම සාක්ෂාත් කොට වාසය කරනවා නම්, පින්වත් මහණෙනි, මේ පුද්ගලයා තමයි අර පැමිණි පුද්ගලයාට බොහෝ උපකාර වූ කෙනා. පින්වත් මහණෙනි, මේ තමයි පුද්ගලයෙකුට බොහෝ උපකාර වන පුද්ගලයන් තුන් දෙනා.

ඉමේහි ච පන භික්ඛවේ, තීහි පුග්ගලේහි ඉමස්ස පුග්ගලස්ස නත්ථඤ්ඤෝ පුග්ගලෝ බහුකාරතරෝති වදාමි. ඉමේසඤ්ච භික්ඛවේ, තිණ්ණං පුග්ගලානං ඉමිනා පුග්ගලේන න සුප්පතිකාරං වදාමි, යදිදං අභිවාදන පච්චුට්ඨාන අඤ්ජලිකම්ම සාමීචිකම්ම චීවරපිණ්ඩපාතසේනාසන ගිලානපච්චය භේසජ්ජපරික්ඛාරානුප්පදානේනාති.

පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනාට වඩා බොහෝ උපකාර ඇති වෙනත් පුද්ගලයෙක් අර පුද්ගලයාට නැහැ කියල යි මා කියන්නේ. පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනාට අර පුද්ගලයා විසින් වන්දනා කිරීම්, දැක හුනස්නෙන් නැගී සිටීම, දෑත් එක් කොට ඇඳිලි බැඳීමෙන්, යහපත් අයුරු දැක්වීමෙන්, සිවුරු, පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් පිරිකර ආදිය පූජා කිරීමෙන් ඒ කළ උපකාරයට පෙරලා උපකාර කිරීම පහසු දෙයක් යැයි මම නො කියමි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M