පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු භික්ෂුව කරදර රහිත වූ ප්‍රතිපදාවට පැමිණියා වෙනවා. ඔහු ආශ්‍රව ක්ෂය කරන වීරියත් පටන් ගත්තා වෙනවා. කවර කාරණා තුනකින්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ඉන්ද්‍රියයන්ගේ දොරවල් වහලයි තියෙන්නේ. වළඳන භෝජනයේ අර්ථයත් දන්නවා. නිදිවැරීමේ යෙදිලා ඉන්නවා.
පින්වත් මහණෙනි, කොහොමද භික්ෂුවක් ඉන්ද්‍රියයන්ගේ දොරවල් වහලා ඉන්නෙ? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුවක් ඇසින් රූපයක් දැකලා ඒකෙ නිමිති ගන්නෙ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් විදිහකින් ඇස අසංවර කරගෙන ඉන්න කොට දැඩි ලෝභයත්, දොම්නසත් කියන මේ පාපී අකුසල් පැමිනෙනවා නම්, අන්න ඒවායේ සංවරය පිණිස පිළිපදිනවා. ඇස නැමැති ඉන්ද්‍රිය රකිනවා. ඇස නැමැති ඉන්ද්‍රියේ සංවරයට පත්වෙනවා. කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ දැනගෙන ….(පෙ)…. දිවෙන රස දැනගෙන ….(පෙ)…. කයෙන් පහස ලබලා ….(පෙ)…. මනසින් සිතුවිලි දැනගෙන ඒවායේ නිමිති ගන්නෙ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නෙ නෑ. යම් විදිහකින් මනස නැමැති ඉන්ද්‍රිය අසංවර කරගෙන ඉන්න කොට දැඩි ලෝභයත්, දොම්නසත් කියන මේ පාපී අකුසල් පැමිනෙනවා නම්, අන්න ඒවායේ සංවරය පිණිස පිළිපදිනවා. මනස නැමැති ඉන්ද්‍රිය රකිනවා. මනස නැමැති ඉන්ද්‍රියේ සංවරයට පත්වෙනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට භික්ෂුව ඉන්ද්‍රියයන්ගේ දොරවල් වැහුවා වෙනවා.
පින්වත් මහණෙනි, කොහොමද භික්ෂුව වළඳන භෝජනයේ අර්ථය දැන ගන්න කෙනෙක් වෙන්නේ? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව නුවණින් හිතලා බලලා තමයි ආහාර වළඳන්නෙ. ‘ජවය පිණිස නොවෙයි, මත් වීම පිණිස නොවෙයි. ශරීරය වඩවලා ලස්සන කරගන්න වත්, කය සරසවන්නවත් නොවෙයි. මේ කයේ පැවැත්ම පිණිසත්, යැපීම පිණිසත්, වෙහෙස නිවා ගැනීම පිණිසත්, බඹසර ජීවිතයට අනුග්‍රහ පිණිසත්මයි. මේ විදිහට තිබුනු බඩගිනි වේදනාවන් නැති කර දමමි, අලුත් බඩගිනි වේදනාවන් නූපදවමි. මාගේ මේ ජීවන යාත්‍රාවත් සිදුවෙනවා. නිවැරදි බවත්, පහසු විහරණයත් සිදුවෙනවා’ කියලා. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට භික්ෂුව වළඳන ආහාරයේ අර්ථය දන්නා කෙනෙක් වෙනවා.
පින්වත් මහණෙනි, කොහොමද භික්ෂුව නිදිවැරීමේ යෙදුණු කෙනෙක් වෙන්නේ? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව දහවල් කාලයේ සක්මන් කිරීමෙනුත් වාඩි වී භාවනා කිරීමෙනුත් චිත්ත දියුණුව වසා තිබෙන කෙලෙස් ඉවත් කරමින් සිත පිරිසිදු කරනවා. රාත්‍රියේ පළමු වෙනි යාමයේ සක්මන් කිරීමෙනුත් වාඩි වී භාවනා කිරීමෙනුත් චිත්ත දියුණුව වසා තිබෙන කෙලෙස් ඉවත් කරමින් සිත පිරිසිදු කරනවා. රාත්‍රියේ මධ්‍යම යාමයේ දකුණු පැත්තට හැරිලා එක් පාදයක් උඩ අනෙක් පාදය මඳක් පිටුපසට කරලා තියලා, සිහියෙනුත් නුවණිනුත් යුතුව, නැගී සිටීමේ අදහස සිහිකරලා සිංහයෙකුගේ විලාශයෙන් ඇලවෙනවා. ඊට පස්සේ රාත්‍රී පසු යාමයේ නැගිටලා සක්මන් කිරීමෙනුත් හිඳිමිනුත් චිත්ත දියුණුව වසා තිබෙන කෙලෙස් ඉවත් කරමින් සිත පිරිසිදු කරනවා. පින්වත් මහණෙනි, මේ විදිහට භික්ෂුව නිදිවැරීමේ යෙදුණු කෙනෙක් වෙනවා. පින්වත් මහණෙනි, මේ කාරණා තුනෙන් යුතු භික්ෂුව කරදර රහිත වූ ප්‍රතිපදාවට පැමිණියා වෙනවා. ඔහු ආශ්‍රවයන් ක්ෂය කරන වීරියත් පටන් ගත්තා වෙනවා.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M