එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ත්, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ත්, ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ත් සාකේත නුවර කණ්ටකී වනයෙහි වැඩවෙසෙති.
එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ත්, ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ත් සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කථාබහ නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය වදාළහ.
“ඇවැත් අනුරුද්ධයෙනි, නිවන් මග හික්මෙන භික්ෂුව විසින් කවර ධර්මයන් උපදවාගෙන වාසය කළ යුත්තේ ද?”
“ඇවැත් සාරිපුත්තයෙනි, නිවන් මග හික්මෙන භික්ෂුව විසින් සතර සතිපට්ඨානයන් උපදවාගෙන වාසය කළ යුත්තේ ය. ඒ කවර සතරක් ද යත්;
ඇවැත්නි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට කයෙහි කායානුපස්සී ව වාසය කරයි. වේදනාවන්හි ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට ධර්මයන්හි ධම්මානුපස්සී ව වාසය කරයි.
ඇවැත් සාරිපුත්තයෙනි, නිවන් මග හික්මෙන භික්ෂුව විසින් මේ සතර සතිපට්ඨානයන් උපදවාගෙන වාසය කළ යුත්තේ ය.”
සාදු! සාදු!! සාදු!!!
කණ්ටකී සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M