සංයුත්ත නිකාය

මහා වග්ගෝ

8.1.1. රහෝගත සුත්තං

8.1.1. හුදෙකලාව සිටියදී සිතුණු දහම් කරුණ ගැන වදාළ දෙසුම

එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙති. එකල්හී හුදෙකලාවෙහි භාවනාවෙන් සිටි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙබඳු චිත්ත පරිවිතර්කයක් උපන්නේ ය.

‘යම් කෙනෙකුන් විසින් සතර සතිපට්ඨානයෝ වරදවා ගන්නා ලද්දාහු ද, ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවී යන්නා වූ ආර්ය මාර්ගය වරදවා ගන්නා ලද්දේ ය. යම් කෙනෙකුන් විසින් සතර සතිපට්ඨානයෝ නිවැරදි ලෙස ගන්නා ලද්දාහු ද, ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවී යන්නා වූ ආර්ය මාර්ගය නිවැරදි ලෙස ගන්නා ලද්දේ ය.’

එකල්හී ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේගේ චිත්ත පරිවිතර්කය සිය සිතින් දැන බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරින්නේ යම් සේ ද, දික් කළ අතක් හකුලන්නේ යම් සේ ද, එසෙයින් ම ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ඉදිරියෙහි පහළ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය වදාළහ.

“ඇවැත් අනුරුද්ධයෙනි, භික්ෂුවක් විසින් සතර සතිපට්ඨානයන් නිවැරදි ලෙස ගනු ලබන්නේ කොපමණකින් ද?”

“ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ කයෙහි හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ කයෙහි නැසෙන ස්වභාවය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ කයෙහි හටගැනෙන නැසෙන ස්වභාවයන් දකිමින් වාසය කරයි.

කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, බාහිර කයෙහි හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි. ….(පෙ)…. බාහිර කයෙහි නැසෙන ස්වභාවය දකිමින් වාසය කරයි. ….(පෙ)…. බාහිර කයෙහි හටගැනෙන නැසෙන ස්වභාවයන් දකිමින් වාසය කරයි.

කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ ත් අනුන්ගේ ත් කයෙහි හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ ත් අනුන්ගේ ත් කයෙහි නැසෙන ස්වභාවය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ ත් අනුන්ගේ ත් කයෙහි හටගැනෙන නැසෙන ස්වභාවයන් දකිමින් වාසය කරයි.

ඉදින් හේ නොපිළිකුල් දෙයෙහි පිළිකුල් සංඥාවෙන් වාසය කරන්නෙමි’ යි කැමැති වෙයි නම්, එහිදී පිළිකුල් සංඥාවෙන් වාසය කරයි.

ඉදින් පිළිකුල් දෙයෙහි නොපිළිකුල් සංඥාවෙන් වාසය කරන්නෙමි’ යි කැමැති වෙයි නම්, එහිදී නොපිළිකුල් සංඥාවෙන් වාසය කරයි.

ඉදින් නොපිළිකුල් දෙයෙහි ත්, පිළිකුල් දෙයෙහි ත් පිළිකුල් සංඥාවෙන් වාසය කරන්නෙමි’ යි කැමැති වෙයි නම්, එහිදී පිළිකුල් සංඥාවෙන් වාසය කරයි.

ඉදින් පිළිකුල් දෙයෙහි ත්, නොපිළිකුල් දෙයෙහි ත් නොපිළිකුල් සංඥාවෙන් වාසය කරන්නෙමි’ යි කැමැති වෙයි නම්, එහිදී නොපිළිකුල් සංඥාවෙන් වාසය කරයි.

ඉදින් පිළිකුලත්, නොපිළිකුලත් යන දෙකම දුරුකොට සිහියෙන් යුතුව, නුවණින් යුතුව උපේක්ෂාවෙන් වාසය කරන්නෙමි’ යි කැමැති වෙයි නම්, එහිදී සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වාසය කරයි.

කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ විඳීම් පිළිබඳ ව හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ විඳීම් පිළිබඳ ව නැසෙන ස්වභාවය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ විඳීම් පිළිබඳ ව හටගැනෙන නැසෙන ස්වභාවයන් දකිමින් වාසය කරයි.

කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, බාහිර විඳීම් පිළිබඳ ව හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි. ….(පෙ)…. බාහිර විඳීම් පිළිබඳ ව නැසෙන ස්වභාවය දකිමින් වාසය කරයි. ….(පෙ)…. බාහිර විඳීම් පිළිබඳ ව හටගැනෙන නැසෙන ස්වභාවයන් දකිමින් වාසය කරයි.

කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ ත් අනුන්ගේ ත් විඳීම් පිළිබඳ ව හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ ත් අනුන්ගේ ත් විඳීම් පිළිබඳ ව නැසෙන ස්වභාවය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ ත් අනුන්ගේ ත් විඳීම් පිළිබඳ ව හටගැනෙන නැසෙන ස්වභාවයන් දකිමින් වාසය කරයි. ඉදින් හේ කැමති වෙයි නම් ….(පෙ)…. සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වාසය කරයි.

කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ සිත පිළිබඳ ව හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ සිත පිළිබඳ ව නැසෙන ස්වභාවය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ සිත පිළිබඳ ව හටගැනෙන නැසෙන ස්වභාවයන් දකිමින් වාසය කරයි.

කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, බාහිර සිත පිළිබඳ ව හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි. ….(පෙ)…. බාහිර සිත පිළිබඳ ව නැසෙන ස්වභාවය දකිමින් වාසය කරයි. ….(පෙ)…. බාහිර සිත පිළිබඳ ව හටගැනෙන නැසෙන ස්වභාවයන් දකිමින් වාසය කරයි.

කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ ත් අනුන්ගේ ත් සිත පිළිබඳ ව හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ ත් අනුන්ගේ ත් සිත පිළිබඳ ව නැසෙන ස්වභාවය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ ත් අනුන්ගේ ත් සිත පිළිබඳ ව හටගැනෙන නැසෙන ස්වභාවයන් දකිමින් වාසය කරයි. ඉදින් හේ කැමති වෙයි නම් ….(පෙ)…. සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වාසය කරයි.

කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ ධර්මයන් පිළිබඳ ව හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ ධර්මයන් පිළිබඳ ව නැසෙන ස්වභාවය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ ධර්මයන් පිළිබඳ ව හටගැනෙන නැසෙන ස්වභාවයන් දකිමින් වාසය කරයි.

කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, බාහිර ධර්මයන් පිළිබඳ ව හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි. ….(පෙ)…. බාහිර ධර්මයන් පිළිබඳ ව නැසෙන ස්වභාවය දකිමින් වාසය කරයි. ….(පෙ)…. බාහිර ධර්මයන් පිළිබඳ ව හටගැනෙන නැසෙන ස්වභාවයන් දකිමින් වාසය කරයි.

කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ ත් අනුන්ගේ ත් ධර්මයන් පිළිබඳ ව හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ ත් අනුන්ගේ ත් ධර්මයන් පිළිබඳ ව නැසෙන ස්වභාවය දකිමින් වාසය කරයි. ….(පෙ)…. තමාගේ ත් අනුන්ගේ ත් ධර්මයන් පිළිබඳ ව හටගැනෙන නැසෙන ස්වභාවයන් දකිමින් වාසය කරයි.

ඉදින් හේ නොපිළිකුල් දෙයෙහි පිළිකුල් සංඥාවෙන් වාසය කරන්නෙමි’ යි කැමැති වෙයි නම්, එහිදී පිළිකුල් සංඥාවෙන් වාසය කරයි.

ඉදින් පිළිකුල් දෙයෙහි නොපිළිකුල් සංඥාවෙන් වාසය කරන්නෙමි’ යි කැමැති වෙයි නම්, එහිදී නොපිළිකුල් සංඥාවෙන් වාසය කරයි.

ඉදින් නොපිළිකුල් දෙයෙහි ත්, පිළිකුල් දෙයෙහි ත් පිළිකුල් සංඥාවෙන් වාසය කරන්නෙමි’ යි කැමැති වෙයි නම්, එහිදී පිළිකුල් සංඥාවෙන් වාසය කරයි.

ඉදින් පිළිකුල් දෙයෙහි ත්, නොපිළිකුල් දෙයෙහි ත් නොපිළිකුල් සංඥාවෙන් වාසය කරන්නෙමි’ යි කැමැති වෙයි නම්, එහිදී නොපිළිකුල් සංඥාවෙන් වාසය කරයි.

ඉදින් පිළිකුලත්, නොපිළිකුලත් යන දෙකම දුරුකොට සිහියෙන් යුතුව, නුවණින් යුතුව උපේක්ෂාවෙන් වාසය කරන්නෙමි’ යි කැමැති වෙයි නම්, එහිදී සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වාසය කරයි.

ඇවැත්නි, මෙපමණකින් භික්ෂුව විසින් සතර සතිපට්ඨානයෝ නිවැරදි ලෙස ගන්නා ලද්දාහු ය.”

සාදු! සාදු!! සාදු!!!

රහෝගත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M