එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මනෝමය ශරීරයෙන් බ්‍රහ්මලෝකයට ඉර්ධියෙන් වැඩිය වගක් විශේෂයෙන් දන්නා සේක් ද?”
“ආනන්දයෙනි, මම වූ කලී බ්‍රහ්මලෝකයට මනෝමය ශරීරයෙන් ඉර්ධියෙන් වැඩිය වග විශේෂ කොට දනිමි.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වනාහී සතර මහා භූතයින්ගෙන් හටගත් මේ ශරීරයෙන් ඉර්ධියෙන් බ්‍රහ්මලෝකයට වැඩිය වග විශේෂයෙන් දන්නා සේක් ද?”
“ආනන්දයෙනි, මම වූ කලී මේ සතර මහා භූතයන්ගෙන් හටගත් කයෙන් ඉර්ධියෙන් බ්‍රහ්මලෝකයට වැඩිය වග විශේෂ කොට දනිමි.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මනෝමය කයෙන් බ්‍රහ්මලෝකයට ඉර්ධියෙන් වැඩම කරන්නට හැකි සේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වූ කලී මේ සතර මහා භූතයන්ගෙන් හටගත් කය ප්‍රකට වෙමින් ඉර්ධියෙන් බඹලොවට වැඩි සේක. ස්වාමීනී, මෙකරුණ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යයක් මෙන් ම අද්භූතයක් ද වෙයි.”
“ආනන්දයෙනි, තථාගතවරු ආශ්චර්යය මෙන් ම ආශ්චර්යය ධර්මයන් ගෙන් ද සමන්විත වූවෝ ය. ආනන්දයෙනි, තථාගතවරු අද්භූත මෙන් ම අද්භූත ධර්මයන්ගෙන් ද සමන්විත වූවෝ ය. ආනන්දයෙනි, තථාගත තෙමේ යම් අවස්ථාවක කය ත් සිතෙහි එකඟ කරයි ද, සිත ත් කයෙහි එකඟ කරයි ද, සැප සංඥාව ත් සැහැල්ලු සංඥාව ත් කයෙහි බහා වෙසෙයි ද, ආනන්දයෙනි, ඒ අවස්ථාවෙහි තථාගතයන්ගේ කය වඩා ත් ම සැහැල්ලු වෙයි. වඩා ත් මෘදු වෙයි. වඩා ත් ක්‍රියාවට යෝග්‍ය වෙයි. වඩා ත් ප්‍රභාෂ්වර වෙයි. ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. දවස මුළුල්ලෙහි ගිනියම් වී ගිය යකඩ ගුලියක් වඩා ත් ම සැහැල්ලු වෙයි ද, වඩා ත් මෘදු වෙයි ද, වඩා ත් ක්‍රියාවට යෝග්‍ය වෙයි ද, වඩා ත් ප්‍රභාෂ්වර වෙයි ද, එසෙයින් ම ආනන්දයෙනි, තථාගත තෙමේ යම් අවස්ථාවක කය ත් සිතෙහි එකඟ කරයි ද, සිත ත් කයෙහි එකඟ කරයි ද, සැප සංඥාව ත් සැහැල්ලු සංඥාව ත් කයෙහි බහා වෙසෙයි ද, ආනන්දයෙනි, ඒ අවස්ථාවෙහි තථාගතයන්ගේ කය වඩා ත් ම සැහැල්ලු වෙයි. වඩා ත් මෘදු වෙයි. වඩා ත් ක්‍රියාවට යෝග්‍ය වෙයි. වඩා ත් ප්‍රභාෂ්වර වෙයි.
ආනන්දයෙනි, යම් අවස්ථාවක තථාගත තෙමේ කය ත් සිතෙහි එකඟ කරයි ද, සිත ත් කයෙහි එකඟ කරයි ද, සැප සංඥාව ත් සැහැල්ලු සංඥාව ත් කයෙහි බහා වෙසෙයි ද, ආනන්දයෙනි, ඒ අවස්ථාවෙහි ඉතා සුළු මෙහෙයවීමකින් ම තථාගතයන්ගේ කය පොළොවෙන් අහසට නැගෙයි. හේ අනේකවිධ වූ ඉර්ධිවිධීන් අත්දකියි. එක් අයෙකු ව සිට බොහෝ අය වෙයි. ….(පෙ)…. බ්‍රහ්ම ලෝකය තෙක් කයෙන් වසඟයෙහි පවත්වයි. ආනන්දයෙනි, හිඹුල් පුළුන් හෝ කපු පුළුන් හෝ සැහැල්ලු ව තිබිය දී සුළඟට හසු වූයේ ස්වල්ප උත්සාහයෙන් ම පොළොවෙන් අහසට නැගෙන්නේ යම් සේ ද, එසෙයින් ම ආනන්දයෙනි, යම් අවස්ථාවක තථාගත තෙමේ කය ත් සිතෙහි එකඟ කරයි ද, සිත ත් කයෙහි එකඟ කරයි ද, සැප සංඥාව ත් සැහැල්ලු සංඥාව ත් කයෙහි බහා වෙසෙයි ද, ආනන්දයෙනි, ඒ අවස්ථාවෙහි ඉතා සුළු මෙහෙයවීමකින් ම තථාගතයන්ගේ කය පොළොවෙන් අහසට නැගෙයි. හේ අනේකවිධ වූ ඉර්ධිවිධීන් අත්දකියි. එක් අයෙකු ව සිට බොහෝ අය වෙයි. ….(පෙ)…. බ්‍රහ්ම ලෝකය තෙක් කයෙන් වසඟයෙහි පවත්වයි.
සාදු! සාදු!! සාදු!!!
අයෝගුළ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M