සංයුත්ත නිකාය

මහා වග්ගෝ

7.3.12. තථාගත සුත්තං

7.3.12. තථාගතයන් වහන්සේ ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඒ කිමෙකැයි හඟිව් ද? තථාගත තෙමේ මේ සා මහත් ඉර්ධිමත් වූයේ, මේ සා මහානුභාව ඇතිවූයේ කවර ධර්මයන් දියුණු කිරීමෙන් ද? බහුල ව ප්‍රගුණ කිරීමෙන් ද?”

“ස්වාමීනී, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. ….(පෙ)….”

“මහණෙනි, ඉර්ධිපාද සතරක් දියුණු කරගත් බැවින්, බහුල ව ප්‍රගුණ කරගත් බැවින් තථාගත තෙමේ මෙසේ මහා ඉර්ධිමත් වෙයි. මෙසේ මහානුභාව සම්පන්න වෙයි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, මෙහිලා තථාගත තෙමේ බලවත් ඡන්දය තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්දය අතිශයින් සැඟවීමකට ද නොයන්නේ ය. (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගැනීමක් ද නොවන්නේ ය. තමා තුළ ද හැකිලී නොයන්නේ ය. පිටතට ද විසිරී නොයන්නේ ය. පසු – පෙර සංඥාවෙන් ද වාසය කරයි.

“පෙරවරුවෙහි යම් සේ ද පස්වරුවේ ත් එසේ ය. පස්වරුවෙහි යම් සේ ද පෙරවරුවෙහි ත් එසේ ය. යටිකය ගැන විමසන්නේ යම් සේ ද, උඩුකය ගැන ත් විමසන්නේ එසේ ය. උඩුකය ගැන විමසන්නේ යම් සේ ද, යටිකය ගැන විමසන්නේ ත් එසේ ය. දහවල ගත කරන්නේ යම් සේ ද, රාත්‍රිය ත් එසේ ය. රාත්‍රිය ගත කරන්නේ යම් සේ ද, දහවල ත් එසේ ය.”

මෙසේ විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩයි.

බලවත් වීර්යය තුළින් උපදවාගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවාගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. මෙසේ මාගේ බලවත් ව නුවණින් විමසීම අතිශයින් සැඟවීමකට ද නොයන්නේ ය. (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගැනීමක් ද නොවන්නේ ය. තමා තුළ ද හැකිලී නොයන්නේ ය. පිටතට ද විසිරී නොයන්නේ ය. පසු – පෙර සංඥාවෙන් ද වාසය කරයි.

“පෙරවරුවෙහි යම් සේ ද පස්වරුවේ ත් එසේ ය. පස්වරුවෙහි යම් සේ ද පෙරවරුවෙහි ත් එසේ ය. යටිකය ගැන විමසන්නේ යම් සේ ද, උඩුකය ගැන ත් විමසන්නේ එසේ ය. උඩුකය ගැන විමසන්නේ යම් සේ ද, යටිකය ගැන විමසන්නේ ත් එසේ ය. දහවල ගත කරන්නේ යම් සේ ද, රාත්‍රිය ත් එසේ ය. රාත්‍රිය ගත කරන්නේ යම් සේ ද, දහවල ත් එසේ ය.”

මෙසේ විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩයි.

මහණෙනි, තථාගත තෙමේ මේ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් හෙයින්, බහුල ව ප්‍රගුණ කරගත් හෙයින්, මේ සා මහත් ඉර්ධි ඇත්තේ ය. මේ සා මහත් ආනුභාව ඇත්තේ ය.

අනේක ප්‍රකාර වූ ඉර්ධි විශේෂයන් කළ හැකි වෙයි. එනම් එක් කෙනෙක් ව සිට බොහෝ අය ලෙස පෙනී සිටියි. බොහෝ අය වී එක් අයෙක් ව පෙනී සිටියි. ….(පෙ)…. බඹලොව සීමා කොට සිය කයින් වසඟයෙහි පවත්වයි. ….(පෙ)…. මහණෙනි, මේ අයුරින් තථාගත තෙමේ මේ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් හෙයින්, බහුල ව ප්‍රගුණ කරගත් හෙයින්, ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරයි.”

(අභිඥා සය විස්තර කළ යුත්තේ ය.)

සාදු! සාදු!! සාදු!!!

තථාගත සූත්‍රය නිමා විය.

තෙවෙනි අයෝගුළ වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

මග්ග සූත්‍රය, අයෝගුළ සූත්‍රය, භික්ඛු සූත්‍රය, සුද්ධක සූත්‍රය, ඵල සූත්‍ර දෙක, ආනන්ද සූත්‍ර දෙක, සම්බහුල භික්ඛු සූත්‍ර දෙක සහ එකොලොස් වෙනි මොග්ගල්ලාන සූත්‍රය ත්, දොළොස්වෙනි තථාගත සූත්‍රය ත් වශයෙන් සූත්‍ර දොළොසකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-3-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M