මහණෙනි, අතීතයෙහි යම්කිසි ශ්‍රමණයෝ වේවා, බ්‍රාහ්මණයෝ වේවා, නොයෙක් අයුරින් ඉර්ධිවිධීන් අත්දුටුවාහු ද, එනම්; එක් කෙනෙක් ව සිට බොහෝ අය ලෙස පෙනී සිටියාහු ද, බොහෝ අය වී එක් අයෙක් ව පෙනී සිටියාහු ද, ප්‍රකටවත් අප්‍රකටවත් සිටියාහු ද, බිත්ති හරහා ගියාහු ද, ප්‍රාකාරය හරහා ගියාහු ද, පර්වත හරහා ගියාහු ද, අහසින් යන සෙයින් ඒ කිසිවක නොගැටෙමින් ගියාහු ද, ජලයෙහි සේ පොළොවෙහි යටට කිමිදුණාහු ද, උඩට මතුවුණාහු ද, පොළොවෙහි යන සේ නොගිලෙමින් ජලයෙහි ඇවිදගෙන ගියාහු ද, පක්ෂි ලිහිණියෙකු සේ පළඟක් බැඳ අහසින් ගියාහු ද, මෙබඳු මහත් ඉර්ධි ඇති, මෙබඳු මහත් ආනුභාව ඇති මේ හිරු සඳු දෙක ද අතින් ස්පර්ශ කළාහු ද, පිරිමැද්දාහු ද, බඹලොව සීමා කොට සිය කයින් වසඟයෙහි පැවැත්වාහු ද, ඒ සියල්ලෝ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් බැවින්, බහුල ව ප්‍රගුණ කරගත් බැවින් එසේ කළහ.
මහණෙනි, අනාගතයෙහි යම්කිසි ශ්‍රමණයෝ වේවා, බ්‍රාහ්මණයෝ වේවා, නොයෙක් අයුරින් ඉර්ධිවිධීන් අත්දකින්නාහු ද, එනම්; එක් කෙනෙක් ව සිට බොහෝ අය ලෙස පෙනී සිටින්නාහු ද, බොහෝ අය වී එක් අයෙක් ව පෙනී සිටින්නාහු ද, ප්‍රකටවත් අප්‍රකටවත් සිටින්නාහු ද, බිත්ති හරහා යන්නාහු ද, ප්‍රාකාරය හරහා යන්නාහු ද, පර්වත හරහා යන්නාහු ද, අහසින් යන සෙයින් ඒ කිසිවක නොගැටෙමින් යන්නාහු ද, ජලයෙහි සේ පොළොවෙහි යටට කිමිදෙන්නාහු ද, උඩට මතුවෙන්නාහු ද, පොළොවෙහි යන සේ නොගිලෙමින් ජලයෙහි ඇවිදගෙන යන්නාහු ද, පක්ෂි ලිහිණියෙකු සේ පළඟක් බැඳ අහසින් යන්නාහු ද, මෙබඳු මහත් ඉර්ධි ඇති, මෙබඳු මහත් ආනුභාව ඇති මේ හිරු සඳු දෙක ද අතින් ස්පර්ශ කරන්නාහු ද, පිරිමදින්නාහු ද, බඹලොව සීමා කොට සිය කයින් වසඟයෙහි පවත්වන්නාහු ද, ඒ සියල්ලෝ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් බැවින්, බහුල ව ප්‍රගුණ කරගත් බැවින් එසේ කරන්නාහ.
මහණෙනි, වර්තමානයෙහි යම්කිසි ශ්‍රමණයෝ වේවා, බ්‍රාහ්මණයෝ වේවා, නොයෙක් අයුරින් ඉර්ධිවිධීන් අත්දකිත් ද, එනම් එක් කෙනෙක් ව සිට බොහෝ අය ලෙස පෙනී සිටිත් ද, බොහෝ අය වී එක් අයෙක් ව පෙනී සිටිත් ද, අප්‍රකටවත් අප්‍රකටවත් සිටිත් ද, බිත්ති හරහා යත් ද, ප්‍රාකාරය හරහා යත් ද, පර්වත හරහා යත් ද, අහසින් යන සෙයින් ඒ කිසිවක නොගැටෙමින් යත් ද, ජලයෙහි සේ පොළොවෙහි යටට කිමිදෙත් ද, උඩට මතුවෙත් ද, පොළොවෙහි යන සේ නොගිලෙමින් ජලයෙහි ඇවිදගෙන යත් ද, පක්ෂි ලිහිණියෙකු සේ පළඟක් බැඳ අහසින් යත් ද, මෙබඳු මහත් ඉර්ධි ඇති, මෙබඳු මහත් ආනුභාව ඇති මේ හිරු සඳු දෙක ද අතින් ස්පර්ශ කරත් ද, පිරිමදිත් ද, බඹලොව සීමා කොට සිය කයින් වසඟයෙහි පවත්වත් ද, ඒ සියල්ලෝ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් බැවින්, බහුල ව ප්‍රගුණ කරගත් බැවින් එසේ කරති.
ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. බලවත් වීර්යය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. මහණෙනි, අතීතයෙහි යම්කිසි ශ්‍රමණයෝ වේවා, බ්‍රාහ්මණයෝ වේවා අනේක වූ ඉර්ධිවිධීන් අත්දුටුවාහු ද, ….(පෙ)…. අත්දකින්නාහු ද, ….(පෙ)…. අත්දකිත් ද, ….(පෙ)…. ඒ සියල්ලෝ මේ සතර ඉර්ධිපාදයන් ම දියුණු කරගත් හෙයිනි. බහුල ව ප්‍රගුණ කරගත් හෙයිනි.
සාදු! සාදු!! සාදු!!!
ඉද්ධිවිධ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M