සංයුත්ත නිකාය

මහා වග්ගෝ

7.2.10. විභංග සුත්තං

7.2.10. ඉර්ධිපාද විග්‍රහ කොට වදාළ දෙසුම

මහණෙනි, මේ සතරක් වූ ඉර්ධිපාදයෝ හොඳින් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, මහත්ඵල මහානිශංස ඇත්තාහ. මහණෙනි, මේ සතරක් වූ ඉර්ධිපාදයන් කෙසේ හොඳින් දියුණු කරගත් විට ද, කෙසේ බහුල ව ප්‍රගුණ කරගත් විට ද, මහත්ඵල මහානිශංස වන්නේ?

මහණෙනි, මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්දය අතිශයින් සැඟවීමකට ද නොයන්නේ ය. (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගැනීමක් ද නොවන්නේ ය. තමා තුළ ද හැකිලී නොයන්නේ ය. පිටතට ද විසිරී නොයන්නේ ය. පසු – පෙර සංඥාවෙන් ද වාසය කරයි. ….(පෙ)…. මෙසේ විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩයි. විරිය සමාධි ….(පෙ)…. චිත්ත සමාධි ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. මෙසේ මාගේ නුවණින් විමසීම අතිශයින් සැඟවීමකට ද නොයන්නේ ය. (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගැනීමක් ද නොවන්නේ ය. තමා තුළ ද හැකිලී නොයන්නේ ය. පිටතට ද විසිරී නොයන්නේ ය. පසු – පෙර සංඥාවෙන් ද වාසය කරයි.

“පෙරවරුවෙහි යම් සේ ද පස්වරුවේ ත් එසේ ය. පස්වරුවෙහි යම් සේ ද පෙරවරුවෙහි ත් එසේ ය. යටිකය ගැන විමසන්නේ යම් සේ ද, උඩුකය ගැන ත් විමසන්නේ එසේ ය. උඩුකය ගැන විමසන්නේ යම් සේ ද, යටිකය ගැන විමසන්නේ ත් එසේ ය. දහවල ගත කරන්නේ යම් සේ ද, රාත්‍රිය ත් එසේ ය. රාත්‍රිය ගත කරන්නේ යම් සේ ද, දහවල ත් එසේ ය.”

මෙසේ විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩයි.

මහණෙනි, අතිශයින් සැඟවී ගිය ඡන්දය යනු කුමක් ද? මහණෙනි, යම් කැමැත්තක් හෙවත් ඡන්දයක් කුසීත බවින් යුක්ත වූයේ ද, කුසීත බව සමඟ තිබෙයි ද, මහණෙනි, මෙය අතිශයින් සැඟවී ගිය ඡන්දය යැයි කියනු ලැබේ.

මහණෙනි, (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගත් ඡන්දය යනු කුමක් ද? මහණෙනි, යම් ඡන්දයක් විසිරීමෙන් යුක්ත වෙයි ද, විසිරීම හා සමඟ තිබෙයි ද, මහණෙනි, මෙය අතිශයින් දැඩි ව ගත් ඡන්දය යැයි කියනු ලැබේ.

මහණෙනි, තමා තුළ හැකිලී ගිය ඡන්දය යනු කුමක් ද? මහණෙනි, යම් ඡන්දයක් නිදිමත හා අලස බවින් යුක්ත වෙයි ද, නිදිමත හා අලස බව සමඟ එක් ව තිබෙයි ද, මහණෙනි, මෙය ඇතුළත හැකිලී ගිය ඡන්දය යැයි කියනු ලැබේ.

මහණෙනි, බාහිරට විසිරී ගිය ඡන්දය යනු කුමක් ද? මහණෙනි, යම් ඡන්දයක් බාහිර පංච කාම ගුණයන් පිළිබඳ ව නැවත නැවත සිතීමට යයි ද, නැවත නැවත ඒ පංච කාම අරමුණුවල විසිරෙයි ද, මහණෙනි, මෙය බාහිරට විසිරී ගිය ඡන්දය යැයි කියනු ලැබේ.

මහණෙනි, භික්ෂුවක් ‘පෙරවරුවෙහි යම් සේ ද පස්වරුවේ ත් එසේ ය. පස්වරුවෙහි යම් සේ ද පෙරවරුවෙහි ත් එසේ ය’ වශයෙන් පසු – පෙර සංඥාවෙන් වාසය කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව විසින් පසු – පෙර සංඥාව මැනැවින් ගන්නා ලද්දේ වෙයි. මැනැවින් මෙනෙහි කරන ලද්දේ වෙයි. මැනැවින් දරණ ලද්දේ වෙයි. මැනැවින් ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද්දේ වෙයි. මෙසේ මහණෙනි, භික්ෂුවක් ‘පෙරවරුවෙහි යම් සේ ද පස්වරුවේ ත් එසේ ය. පස්වරුවෙහි යම් සේ ද පෙරවරුවෙහි ත් එසේ ය’ වශයෙන් පසු – පෙර සංඥාවෙන් වාසය කරයි.

මහණෙනි, භික්ෂුවක් ‘යටිකය ගැන විමසන්නේ යම් සේ ද, උඩුකය ගැන ත් විමසන්නේ එසේ ය. උඩුකය ගැන විමසන්නේ යම් සේ ද, යටිකය ගැන විමසන්නේ ත් එසේ ය’ වශයෙන් වාසය කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව පා තලයෙන් උඩ, කෙස් මතුවෙන් යට, සමකින් වසා ඇති නා නා ප්‍රකාර අශුචියෙන් පිරී ගිය මේ ශරීරය ම නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරයි. ‘මේ කයෙහි කෙස් ඇත්තේ ය. ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පෙණහළු, අතුණු, අතුණුබහන්, ආමාශය, අශුචි, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල, කඳුළු, වුරුණුතෙල්, කෙළ, සොටු, සඳමිදුළු, මුත්‍රා ය.’ මහණෙනි, භික්ෂුවක් මේ අයුරින් ‘යටිකය ගැන විමසන්නේ යම් සේ ද, උඩුකය ගැන ත් විමසන්නේ එසේ ය. උඩුකය ගැන විමසන්නේ යම් සේ ද, යටිකය ගැන විමසන්නේ ත් එසේ ය’ වශයෙන් වාසය කරයි.

මහණෙනි, භික්ෂුවක් ‘දහවල ගත කරන්නේ යම් සේ ද, රාත්‍රිය ත් එසේ ය. රාත්‍රිය ගත කරන්නේ යම් සේ ද, දහවල ත් එසේ ය’ වශයෙන් වාසය කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව යම් ආකාර වලින්, යම් සටහන් වලින්, යම් නිමිති වලින් දිවාකාලයෙහි ඡන්දය මුල්කොට ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි ද, ඔහු ඒ ආකාර වලින්, ඒ සටහන් වලින්, ඒ නිමිති වලින් රාත්‍රියෙහිත් ඡන්දය මුල්කොට ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. යම් ආකාර වලින්, යම් සටහන් වලින්, යම් නිමිති වලින් රාත්‍රීකාලයෙහි ඡන්දය මුල්කොට ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි ද, ඔහු ඒ ආකාර වලින්, ඒ සටහන් වලින්, ඒ නිමිති වලින් දිවා කාලයෙහිත් ඡන්දය මුල්කොට ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. මහණෙනි, භික්ෂුවක් මේ අයුරින් ‘දහවල ගත කරන්නේ යම් සේ ද, රාත්‍රිය ත් එසේ ය. රාත්‍රිය ගත කරන්නේ යම් සේ ද, දහවල ත් එසේ ය’ වශයෙන් වාසය කරයි.

මහණෙනි, භික්ෂුවක් විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව විසින් ආලෝක සංඥාව මැනැවින් අධිෂ්ඨාන කරගන්නා ලද්දේ වෙයි. දිවා සංඥාව මැනැවින් තබන ලද්දේ වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩයි.

මහණෙනි, අතිශයින් සැඟවී ගිය වීර්යය යනු කුමක් ද? මහණෙනි, යම් වීර්යයක් කුසීත බවින් යුක්ත වූයේ ද, කුසීත බව සමඟ තිබෙයි ද, මහණෙනි, මෙය අතිශයින් සැඟවී ගිය වීර්යය යැයි කියනු ලැබේ.

මහණෙනි, (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගත් වීර්යය යනු කුමක් ද? මහණෙනි, යම් වීර්යයක් විසිරීමෙන් යුක්ත වෙයි ද, විසිරීම හා සමඟ තිබෙයි ද, මහණෙනි, මෙය අතිශයින් දැඩි ව ගත් වීර්යය යැයි කියනු ලැබේ.

මහණෙනි, තමා තුළ හැකිලී ගිය වීර්යය යනු කුමක් ද? මහණෙනි, යම් වීර්යයක් නිදිමත හා අලස බවින් යුක්ත වෙයි ද, නිදිමත හා අලස බව සමඟ එක් ව තිබෙයි ද, මහණෙනි, මෙය ඇතුළත හැකිලී ගිය වීර්යය යැයි කියනු ලැබේ.

මහණෙනි, බාහිරට විසිරී ගිය වීර්යය යනු කුමක් ද? මහණෙනි, යම් වීර්යයක් බාහිර පංච කාම ගුණයන් පිළිබඳ ව නැවත නැවත සිතීමට යයි ද, නැවත නැවත ඒ පංච කාම අරමුණුවල විසිරෙයි ද, මහණෙනි, මෙය බාහිරට විසිරී ගිය වීර්යය යැයි කියනු ලැබේ.

මහණෙනි, අතිශයින් සැඟවී ගිය අධිෂ්ඨානය හෙවත් සිත යනු කුමක් ද? මහණෙනි, යම් සිතක් කුසීත බවින් යුක්ත වූයේ ද, කුසීත බව සමඟ තිබෙයි ද, මහණෙනි, මෙය අතිශයින් සැඟවී ගිය සිත යැයි කියනු ලැබේ.

මහණෙනි, (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගත් සිත යනු කුමක් ද? මහණෙනි, යම් සිතක් විසිරීමෙන් යුක්ත වෙයි ද, විසිරීම හා සමඟ තිබෙයි ද, මහණෙනි, මෙය අතිශයින් දැඩි ව ගත් සිත යැයි කියනු ලැබේ.

මහණෙනි, තමා තුළ හැකිලී ගිය සිත යනු කුමක් ද? මහණෙනි, යම් සිතක් නිදිමත හා අලස බවින් යුක්ත වෙයි ද, නිදිමත හා අලස බව සමඟ එක් ව තිබෙයි ද, මහණෙනි, මෙය ඇතුළත හැකිලී ගිය සිත යැයි කියනු ලැබේ.

මහණෙනි, බාහිරට විසිරී ගිය සිත යනු කුමක් ද? මහණෙනි, යම් සිතක් බාහිර පංච කාම ගුණයන් පිළිබඳ ව නැවත නැවත සිතීමට යයි ද, නැවත නැවත ඒ පංච කාම අරමුණුවල විසිරෙයි ද, මහණෙනි, මෙය බාහිරට විසිරී ගිය සිත යැයි කියනු ලැබේ.

මහණෙනි, අතිශයින් සැඟවී ගිය නුවණින් විමසීම යනු කුමක් ද? මහණෙනි, යම් වීමංසනයක් කුසීත බවින් යුක්ත වූයේ ද, කුසීත බව සමඟ තිබෙයි ද, මහණෙනි, මෙය අතිශයින් සැඟවී ගිය වීමංසනය යැයි කියනු ලැබේ.

මහණෙනි, (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගත් වීමංසනය යනු කුමක් ද? මහණෙනි, යම් වීමංසනයක් විසිරීමෙන් යුක්ත වෙයි ද, විසිරීම හා සමඟ තිබෙයි ද, මහණෙනි, මෙය අතිශයින් දැඩි ව ගත් වීමංසනය යැයි කියනු ලැබේ.

මහණෙනි, තමා තුළ හැකිලී ගිය වීමංසනය යනු කුමක් ද? මහණෙනි, යම් වීමංසනයක් නිදිමත හා අලස බවින් යුක්ත වෙයි ද, නිදිමත හා අලස බව සමඟ එක් ව තිබෙයි ද, මහණෙනි, මෙය ඇතුළත හැකිලී ගිය වීමංසනය යැයි කියනු ලැබේ.

මහණෙනි, බාහිරට විසිරී ගිය වීමංසනය යනු කුමක් ද? මහණෙනි, යම් වීමංසනයක් බාහිර පංච කාම ගුණයන් පිළිබඳ ව නැවත නැවත සිතීමට යයි ද, නැවත නැවත ඒ පංච කාම අරමුණුවල විසිරෙයි ද, මහණෙනි, මෙය බාහිරට විසිරී ගිය වීමංසනය යැයි කියනු ලැබේ.

මහණෙනි, භික්ෂුවක් ‘පෙරවරුවෙහි යම් සේ ද පස්වරුවේ ත් එසේ ය. පස්වරුවෙහි යම් සේ ද පෙරවරුවෙහි ත් එසේ ය’ වශයෙන් පසු – පෙර සංඥාවෙන් වාසය කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව විසින් පසු – පෙර සංඥාව මැනැවින් ගන්නා ලද්දේ වෙයි. මැනැවින් මෙනෙහි කරන ලද්දේ වෙයි. මැනැවින් දරණ ලද්දේ වෙයි. මැනැවින් ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද්දේ වෙයි. මෙසේ මහණෙනි, භික්ෂුවක් ‘පෙරවරුවෙහි යම් සේ ද පස්වරුවේ ත් එසේ ය. පස්වරුවෙහි යම් සේ ද පෙරවරුවෙහි ත් එසේ ය’ වශයෙන් පසු – පෙර සංඥාවෙන් වාසය කරයි.

මහණෙනි, භික්ෂුවක් ‘යටිකය ගැන විමසන්නේ යම් සේ ද, උඩුකය ගැන ත් විමසන්නේ එසේ ය. උඩුකය ගැන විමසන්නේ යම් සේ ද, යටිකය ගැන විමසන්නේ ත් එසේ ය’ වශයෙන් වාසය කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව පා තලයෙන් උඩ, කෙස් මතුවෙන් යට, සමකින් වසා ඇති නා නා ප්‍රකාර අශුචියෙන් පිරී ගිය මේ ශරීරය ම නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරයි. ‘මේ කයෙහි කෙස් ඇත්තේ ය. ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පෙණහළු, අතුණු, අතුණුබහන්, ආමාශය, අශුචි, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල, කඳුළු, වුරුණුතෙල්, කෙළ, සොටු, සඳමිදුළු, මුත්‍රා ය.’ මහණෙනි, භික්ෂුවක් මේ අයුරින් ‘යටිකය ගැන විමසන්නේ යම් සේ ද, උඩුකය ගැන ත් විමසන්නේ එසේ ය. උඩුකය ගැන විමසන්නේ යම් සේ ද, යටිකය ගැන විමසන්නේ ත් එසේ ය’ වශයෙන් වාසය කරයි.

මහණෙනි, භික්ෂුවක් ‘දහවල ගත කරන්නේ යම් සේ ද, රාත්‍රිය ත් එසේ ය. රාත්‍රිය ගත කරන්නේ යම් සේ ද, දහවල ත් එසේ ය’ වශයෙන් වාසය කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව යම් ආකාර වලින්, යම් සටහන් වලින්, යම් නිමිති වලින් දිවාකාලයෙහි වීමංසනය මුල්කොට ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි ද, ඔහු ඒ ආකාර වලින්, ඒ සටහන් වලින්, ඒ නිමිති වලින් රාත්‍රියෙහිත් වීමංසනය මුල්කොට ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. යම් ආකාර වලින්, යම් සටහන් වලින්, යම් නිමිති වලින් රාත්‍රීකාලයෙහි වීමංසනය මුල්කොට ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි ද, ඔහු ඒ ආකාර වලින්, ඒ සටහන් වලින්, ඒ නිමිති වලින් දිවා කාලයෙහිත් වීමංසනය මුල්කොට ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. මහණෙනි, භික්ෂුවක් මේ අයුරින් ‘දහවල ගත කරන්නේ යම් සේ ද, රාත්‍රිය ත් එසේ ය. රාත්‍රිය ගත කරන්නේ යම් සේ ද, දහවල ත් එසේ ය’ වශයෙන් වාසය කරයි.

මහණෙනි, භික්ෂුවක් විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව විසින් ආලෝක සංඥාව මැනැවින් ගන්නා ලද්දේ වෙයි. දිවා සංඥාව මැනැවින් අධිෂ්ඨාන කරන ලද්දේ වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩයි.

මහණෙනි, මේ සතරක් වූ ඉර්ධිපාදයෝ මෙසේ හොඳින් දියුණු කරගත් විට, මෙසේ බහුල ව ප්‍රගුණ කරගත් විට, මහත්ඵල මහානිශංස ඇත්තාහ. මහණෙනි, මෙසේ භික්ෂුවක් සතරක් වූ ඉර්ධිපාදයන් හොඳින් දියුණු කරගත් විට, මෙසේ බහුල ව ප්‍රගුණ කරගත් විට, නොයෙක් ඉර්ධිවිධීන් අත්දකියි. එක් අයෙක් ව සිට බොහෝ අය වෙයි ….(පෙ)…. බඹලොව තෙක් කයෙන් වසඟයෙහි පවත්වයි. මහණෙනි, මෙසේ භික්ෂුවක් සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් විට, මෙසේ බහුල ව ප්‍රගුණ කළ විට ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්ති යත් මෙලොව දී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරයි.

සාදු! සාදු!! සාදු!!!

විභංග සූත්‍රය නිමා විය.

දෙවෙනි පාසාදකම්පන වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

හේතු සූත්‍රය, මහප්ඵල සූත්‍රය, ඡන්ද සූත්‍රය, මොග්ගල්ලාන සූත්‍රය, බ්‍රාහ්මණ සූත්‍රය, මහිද්ධික සූත්‍රය, ඉර්ධිවිධ සූත්‍රය, භික්ඛු සූත්‍රය, භාවනා සූත්‍රය සහ විභංග වශයෙන් සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M