සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.4.6. විභංග සුත්තං

4.4.6. විග්‍රහ කොට වදාළ දෙසුම

මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, සැපය නම් වූ ඉන්ද්‍රියයකි. දුක නම් වූ ඉන්ද්‍රියයකි. සොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. දොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. උපේක්ෂාව නම් වූ ඉන්ද්‍රියයකි.

මහණෙනි, සැප ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, යම් කායික සැපක් ඇද්ද, යම් කායික මිහිරක් ඇද්ද, කයෙහි ස්පර්ශයෙන් හටගන්නා සැපවත් වූ මිහිරි වූ විඳින බවක් ඇද්ද, මෙය මහණෙනි, සැප ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, දුක් ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, යම් කායික දුකක් ඇද්ද, යම් කායික අමිහිරක් ඇද්ද, කයෙහි ස්පර්ශයෙන් හටගන්නා දුක් වූ අමිහිරි වූ විඳින බවක් ඇද්ද, මෙය මහණෙනි, දුක් ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, සොම්නස් ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, යම් මානසික සැපක් ඇද්ද, යම් මානසික මිහිරක් ඇද්ද, මනසෙහි ස්පර්ශයෙන් හටගන්නා සැපවත් වූ මිහිරි වූ විඳින බවක් ඇද්ද, මෙය මහණෙනි, සොම්නස් ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, දොම්නස් ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, යම් මානසික දුකක් ඇද්ද, යම් මානසික අමිහිරක් ඇද්ද, මනසෙහි ස්පර්ශයෙන් හටගන්නා දුක් වූ අමිහිරි වූ විඳින බවක් ඇද්ද, මෙය මහණෙනි, දොම්නස් ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, උපේක්ෂා ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, කායික හෝ මානසික හෝ මිහිරි ත් නොවූ, අමිහිරිත් නොවූ යම් විඳින බවක් ඇද්ද, මෙය මහණෙනි, උපේක්ෂා ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, මේ වනාහී පංච ඉන්ද්‍රියයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

විභංග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M