එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා තනි වී, හුදෙකලා වී, අප්රමාදී ව, කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව මම වාසය කරන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් සංක්ෂේපයෙන් වදාරණ සේක් නම් යහපති.”
“එසේ වී නම් භික්ෂුව මෙහිලා ඔබ කුසල ධර්මයන්හි පටන් ගැනීම ම පිරිසිදු කරව. කුසල ධර්මයන්ගේ ආරම්භය කුමක් ද? භික්ෂුව, මෙහිලා ඔබ ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවර ව, මනා ඇවතුම් පැවැතුම් වලින් යුතු ව වසව. අණුමාත්‍ර වූ වරදෙහි ත් භය දකිමින්, ශික්ෂාපදයන්හි සමාදන් ව හික්මෙව. භික්ෂුව, යම් කලෙක ඔබ ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවර ව, මනා ඇවතුම් පැවැතුම් වලින් යුතු ව වසන්නෙහි ද, අණුමාත්‍ර වූ වරදෙහි ත් භය දකිමින්, ශික්ෂාපදයන්හි සමාදන් ව හික්මෙන්නේ ද, එකල්හී ඔබ භික්ෂුව සීලය ඇසුරු කොට, සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් වඩන්නෙහි. ඒ කවර සතරක් ද යත්,
මෙහිලා භික්ෂුව, ඔබ කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරව. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරව. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරව. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරව.
භික්ෂුව, ඔබ යම් කලෙක සීලය ඇසුරු කොට, සීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් මෙසේ වඩන්නෙහි නම් එකල්හී භික්ෂුව ඔබට යම් රාත්‍රියක් හෝ දහවලක් හෝ පැමිණෙන්නේ ද, කුසල් ධර්මයන් තුළ දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නම් නොවෙයි. එකල්හී ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය ….(පෙ)…. ඒ භික්ෂුව රහතන් වහන්සේලා අතුරින් එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වූයේ ය.
සාදු! සාදු!! සාදු!!!
පාතිමොක්ඛ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M