සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.4.5. සතෝ සුත්තං

3.4.5. සිහි ඇති බව ගැන වදාළ දෙසුම

මහණෙනි, භික්ෂුවක් සිහි ඇති ව, මනා දැනුමෙන් යුතු ව වාසය කරන්නේ ය. මෙය ඔබට අපගේ අනුශාසනය යි. මහණෙනි, භික්ෂුවක් සිහියෙන් යුතු වන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මහණෙනි, මෙසේ භික්ෂුව සිහි ඇත්තේ වෙයි.

මහණෙනි, භික්ෂුව මනා දැනුමෙන් යුතු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව තුළ විඳීම් දැනගෙන ම උපදියි. දැනගෙන ම පවතියි. දැනගෙන ම නැතිවෙයි. විතර්ක දැනගෙන ම උපදියි. දැනගෙන ම පවතියි. දැනගෙන ම නැතිවෙයි. සංඥා දැනගෙන ම උපදියි. දැනගෙන ම පවතියි. දැනගෙන ම නැතිවෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව මනා දැනුමෙන් යුතු වන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුවක් සිහියෙන් හා මනා දැනුමෙන් යුක්ත ව වසන්නේ වෙයි. මෙය ඔබට අපගේ අනුශාසනය යි.

සාදු! සාදු!! සාදු!!!

සතෝ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M