සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.3.6. පදේස සුත්තං

3.3.6. කොටසක් ගැන වදාළ දෙසුම

එක් සමයක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ත්, ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ත්, ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ත් සාකේත නුවර කණ්ටකී වනයෙහි වැඩවෙසෙන සේක. එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ත්, ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ත් සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහිකටයුතු පිළිසඳර කථාව නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය පැවසූහ.

“ආයුෂ්මත් අනුරුද්ධයෙනි, ‘නිවන් මගෙහි හික්මෙන තැනැත්තා, නිවන් මගෙහි හික්මෙන තැනැත්තා’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, නිවන් මගෙහි හික්මෙන තැනැත්තා යැයි කිව යුතු වන්නේ කොපමණ කරුණු මත ද?”

“ආයුෂ්මත්නි, සතර සතිපට්ඨානයන්ගේ කොටසක් දියුණු කරගත් බැවින් නිවන් මගෙහි හික්මෙන තැනැත්තා වෙයි. ඒ කවර සතරක් ද යත්, ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. ආයුෂ්මත්නි, මේ සතර සතිපට්ඨානයන්ගේ කොටසක් දියුණු කරගත් බැවින් නිවන් මගෙහි හික්මෙන තැනැත්තා වෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පදේස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M