සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.10.1.-159. – 3.10.160. ඕඝ වග්ගෝ

3.10.1.-159. – 3.10.160. ඕඝ වර්ගය

3.10.1.-159. සැඩපහර ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, මේ සැඩපහර සතරකි. ඒ කවර සතරක් ද යත්, කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිද්‍යා ඕඝය ය. මහණෙනි, මේ වනාහී සතර ඕඝයෝ ය. මහණෙනි, මේ සතර ඕඝයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කිරීම පිණිස සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය. කවර සතරක් ද යත්, ….(පෙ)…. වැඩිය යුත්තේ ය.

3.10.160. උද්ධම්භාගිය සංයෝජන ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසකි. ඒ කවර පසක් ද යත්; රූපරාගය ය, අරූපරාගය ය, මාන්නය ය, උද්ධච්චය ය, අවිද්‍යාව ය. මහණෙනි, මේ වනාහී පංච උද්ධම්භාගිය සංයෝජනයෝ ය. මහණෙනි, මේ පංච උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය. කවර සතරක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මහණෙනි, මේ පංච උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස මේ සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය.

(ඕඝ වර්ගය සතිපට්ඨාන වශයෙන් විස්තර කළ යුත්තේය.)

දහවෙනි ඕඝ වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නිවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය වශයෙන් සූත්‍ර දහසය බැගින් වන කොටස් දසයකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.

(මෙහිදු ඒසනා වර්ගයෙහි මෙන් එකසිය හැටක් සූත්‍රයෝ විස්තර කළ යුත්තාහු ය.)

සතිපට්ඨාන සංයුත්තය අවසන් විය.

එහි වර්ග නාමාවලිය :

අම්බපාලී වර්ගය, නාලන්ද වර්ගය, සීලට්ඨිති වර්ගය, අනනුස්සුත වර්ගය, අමත වර්ගය, ගංගාපෙය්‍යාල වර්ගය, අප්පමාද වර්ගය, බලකරණීය වර්ගය, ඒසනා වර්ගය සහ ඕඝ වර්ගය වශයෙන් මෙම සතිපට්ඨාන සංයුත්තයෙහි වර්ග දහයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-10-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M