සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.6.6. අභය සුත්තං

2.6.6. අභය රාජකුමාරයාට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවෙසෙන සේක. එකල්හී අභය රාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් අභය රාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, පූරණ කස්සප මෙසේ කියයි. ‘නොදැනීමට, නොදැකීමට හේතුවක් නැත්තේ ය. ප්‍රත්‍යයක් නැත්තේ ය. හේතු රහිත ව, ප්‍රත්‍ය රහිත ව නොදැනීම ත්, නොදැකීම ත් වෙයි. දැනීමට, දැකීමට හේතුවක් නැත්තේ ය, ප්‍රත්‍යයක් නැත්තේ ය. හේතු රහිත ව, ප්‍රත්‍ය රහිත ව දැනීම ත්, දැකීම ත් වෙයි’ භාග්‍යවතුන් වහන්සේ මෙහිලා කුමක් වදාරණ සේක් ද?”

“රාජකුමාරය, නොදැනීමට නොදැකීමට හේතුවක් ඇත්තේ ය. ප්‍රත්‍යයක් ඇත්තේ ය. හේතු සහිත ව, ප්‍රත්‍ය සහිත ව නොදැනීම ත්, නොදැකීම ත් වෙයි. රාජකුමාරය, දැනීමට දැකීමට හේතුවක් ඇත්තේ ය. ප්‍රත්‍යයක් ඇත්තේ ය. හේතු සහිත ව, ප්‍රත්‍ය සහිත ව දැනීම ත්, දැකීම ත් වෙයි.”

“ස්වාමීනී, නොදැනීමට නොදැකීමට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? හේතු සහිත ව, ප්‍රත්‍ය සහිත ව නොදැනීම නොදැකීම කෙසේ වෙයි ද?”

“රාජකුමාරය, යම් අවස්ථාවක කාමරාගයට යට වූ සිතින්, කාමරාගයෙන් මැඩගත් සිතින් වාසය කරයි ද, උපන් කාමරාගයෙන් නිදහස් වීමක් ඒ වූ සැටියකින් නොදනියි ද, නොදකියි ද, රාජකුමාරය, නොදැනීමට ත්, නොදැකීමට ත් මෙය ද හේතුවකි. මෙය ද ප්‍රත්‍යයකි. මෙසේ හේතු සහිත ව, ප්‍රත්‍ය සහිත ව, නොදැනීම නොදැකීම වෙයි.

තව ද රාජකුමාරය, යම් අවස්ථාවක ව්‍යාපාදයට යට වූ සිතින්, ව්‍යාපාදයෙන් මැඩගත් සිතින් වාසය කරයි ද, උපන් ව්‍යාපාදයෙන් නිදහස් වීමක් ඒ වූ සැටියකින් නොදනියි ද, නොදකියි ද, රාජකුමාරය, නොදැනීමට ත්, නොදැකීමට ත් මෙය ද හේතුවකි. මෙය ද ප්‍රත්‍යයකි. මෙසේ හේතු සහිත ව, ප්‍රත්‍ය සහිත ව, නොදැනීම නොදැකීම වෙයි.

තව ද රාජකුමාරය, යම් අවස්ථාවක ථීනමිද්ධයට යට වූ සිතින්, ථීනමිද්ධයෙන් මැඩගත් සිතින් වාසය කරයි ද, උපන් ථීනමිද්ධයෙන් නිදහස් වීමක් ඒ වූ සැටියකින් නොදනියි ද, නොදකියි ද, රාජකුමාරය, නොදැනීමට ත්, නොදැකීමට ත් මෙය ද හේතුවකි. මෙය ද ප්‍රත්‍යයකි. මෙසේ හේතු සහිත ව, ප්‍රත්‍ය සහිත ව, නොදැනීම නොදැකීම වෙයි.

තව ද රාජකුමාරය, යම් අවස්ථාවක උද්ධච්ච කුක්කුච්චයට යට වූ සිතින්, උද්ධච්ච කුක්කුච්චයෙන් මැඩගත් සිතින් වාසය කරයි ද, උපන් උද්ධච්ච කුක්කුච්චයෙන් නිදහස් වීමක් ඒ වූ සැටියකින් නොදනියි ද, නොදකියි ද, රාජකුමාරය, නොදැනීමට ත්, නොදැකීමට ත් මෙය ද හේතුවකි. මෙය ද ප්‍රත්‍යයකි. මෙසේ හේතු සහිත ව, ප්‍රත්‍ය සහිත ව, නොදැනීම නොදැකීම වෙයි.

තව ද රාජකුමාරය, යම් අවස්ථාවක විචිකිච්ඡාවට යට වූ සිතින්, විචිකිච්ඡාවෙන් මැඩගත් සිතින් වාසය කරයි ද, උපන් විචිකිච්ඡාවෙන් නිදහස් වීමක් ඒ වූ සැටියකින් නොදනියි ද, නොදකියි ද, රාජකුමාරය, නොදැනීමට ත්, නොදැකීමට ත් මෙය ද හේතුවකි. මෙය ද ප්‍රත්‍යයකි. මෙසේ හේතු සහිත ව, ප්‍රත්‍ය සහිත ව, නොදැනීම නොදැකීම වෙයි.”

“ස්වාමීනී, මේ ධර්ම ක්‍රමයෙහි නම කුමක් ද?”

“රාජකුමාරය, මේවා නීවරණයෝ නම් වෙති.”

“භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් ම නීවරණයෝ ය. සුගතයන් වහන්ස, ඒකානත්යෙන් ම නීවරණයෝ ය. ස්වාමීනී, මේ එක් එක් නීවරණයකින් පවා යටකොට ගත්තේ නම් ඇත්ත ඇති සැටියෙන් නොදන්නේ ය. නොදක්නේ ය. නීවරණයන් පහකින් මැඩගත් කල්හී කවර කථා ද?

ස්වාමීනී, දැනීමට ත්, දැකීමට ත් හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? හේතු සහිත ව ප්‍රත්‍යය සහිත ව දැනීම ත් දැකීම ත් කෙසේ ඇතිවෙයි ද?”

“රාජකුමාරය මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ඔහු සති සම්බොජ්ඣංගය වැඩූ සිතින් ඇත්ත ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, දැනීමට ත්, දැකීමට ත් මෙය ද හේතුවකි. මෙය ද ප්‍රත්‍යයකි. මෙසේ හේතු සහිත ව, ප්‍රත්‍ය සහිත ව, නොදැනීම නොදැකීම වෙයි. ….(පෙ)…. තව ද රාජකුමාරය, භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. ඔහු උපේක්ෂා සම්බොජ්ඣංගය වැඩූ සිතින් ඇත්ත ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, දැනීමට ත්, දැකීමට ත් මෙය ද හේතුවකි. මෙය ද ප්‍රත්‍යයකි. මෙසේ හේතු සහිත ව, ප්‍රත්‍ය සහිත ව, නොදැනීම නොදැකීම වෙයි.”

“ස්වාමීනී, මේ ධර්ම ක්‍රමයෙහි නම කුමක් ද?”

“රාජකුමාරය, මේවා බොජ්ඣංගයෝ නම් වෙති.”

“භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් ම බොජ්ඣංගයෝ ය. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන් ම බොජ්ඣංගයෝ ය. ස්වාමීනී, මේ එක් එක් බොජ්ඣංගයකින් පවා යුක්ත වූයේ ඇත්ත ඇති සැටියෙන් දන්නේ ය. දක්නේ ය. බොජ්ඣංග සතෙන් යුක්ත වූ කල්හී කවර කථා ද? ස්වාමීනී, ගිජ්ඣකූට පර්වතයට නැගෙන මාගේ කයෙහි යම් වෙහෙසක් තිබුණේ ද, සිතෙහි යම් වෙහෙසක් තිබුණේ ද, මා තුළ එය ත් සංසිඳී ගියේ ය. මා හට ධර්මය ත් අවබෝධ වූයේ ය.”

සාදු! සාදු!! සාදු!!!

අභය සූත්‍රය නිමා විය.

හයවෙනි බොජ්ඣංග වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ආහාර සූත්‍රය, පරියාය සූත්‍රය, අග්ගි සූත්‍රය, මෙත්ත සූත්‍රය, සංගාරව සූත්‍රය, ගිජුකුළු පව්වෙහි දී අභය රාජ කුමරු ඇසූ ප්‍රශ්නය ඇතුළත් අභය සූත්‍රය වශයෙන් සූත්‍ර සයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-6-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M