සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.6.3. අග්ගි සුත්තං

2.6.3. ගින්න ගැන වදාළ දෙසුම

එකල්හී බොහෝ භික්ෂූහු පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන සැවැත් නුවර පිඬු පිණිස පිවිසියාහු ය. ….(පෙ)…. (පරියාය සූත්‍රයෙහි විස්තර කළ ලෙසින් කළ යුත්තේ ය.) මහණෙනි, ඔය අයුරින් පවසන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දිය යුත්තේ ය.

‘ආයුෂ්මත්නි, යම් අවස්ථාවක සිත සැඟවී ගියේ නම් ඒ අවස්ථාව කවර බොජ්ඣංගයන් වැඩීමට කාලය නොවෙයි ද? ඒ අවස්ථාව කවර බොජ්ඣංගයන් වැඩීමට කාලය වෙයි ද?

ආයුෂ්මත්නි, යම් අවස්ථාවක සිත නොසංසුන් වූයේ නම් ඒ අවස්ථාව කවර බොජ්ඣංගයන් වැඩීමට කාලය නොවෙයි ද? ඒ අවස්ථාව කවර බොජ්ඣංගයන් වැඩීමට කාලය වෙයි ද?’

මහණෙනි, මෙසේ විමසූ විට අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ පිළිතුරු දෙන්නට නොහැකිවන්නාහු ය. මත්තෙහි වෙහෙසට පත්වන්නාහු ය. ඒ මක් නිසා ද යත්, තමන්ට විෂය නොවන කරුණු අරභයා යම් සේ අසන ලද්දේ ද, එසේ ය.

මහණෙනි, තථාගතයන් විසින් හෝ තථාගත ශ්‍රාවකයෙකු විසින් හෝ මෙයින් අසා ඉගෙන ගත් කෙනෙකුන් හෝ හැර යමෙක් මේ ප්‍රශ්නයන් විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම්, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි එබඳු කෙනෙකු මම නොදකිමි.

මහණෙනි, යම් අවස්ථාවක සිත සැඟවුණේ නම් ඒ අවස්ථාව පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සිත සැඟ වී ගිය නිසා ය. ඒ සැඟවුණු සිත ඉහත කී ධර්මයන්ගෙන් නැගිටුවාලිය නොහැක්කේ ය.

මහණෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් ස්වල්ප වූ ගින්නක් දල්වනු කැමැත්තේ වෙයි. ඔහු එහි අමු තණකොළ දමන්නේ ත් වෙයි. අමු ගොම දමන්නේ ත් වෙයි. අමු දර දමන්නේ ත් වෙයි. තෙත සුළඟ දෙන්නේ ත් වෙයි. පස් ඉසින්නේ ත් වෙයි. ඒ පුරුෂයා ස්වල්ප වූ ගින්න දල්වා ගන්නට සමර්ථ වන්නේ ද?” “ස්වාමීනී, එය නොවේ ම ය.”

“එසෙයින් ම මහණෙනි, යම් අවස්ථාවක සිත සැඟවුණේ නම් ඒ අවස්ථාව පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සිත සැඟ වී ගිය නිසා ය. ඒ සැඟවුණු සිත ඉහත කී ධර්මයන්ගෙන් නැගිටුවාලිය නොහැක්කේ ය.

මහණෙනි, යම් අවස්ථාවක සිත සැඟවුණේ නම් ඒ අවස්ථාව ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සිත සැඟ වී ගිය නිසා ය. මේ ධර්මයන් තුළින් සිත සැඟවී යෑම මැනැවින් ගොඩට ගත හැක්කේ වෙයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් ස්වල්ප වූ ගින්නක් දල්වනු කැමැත්තේ වෙයි. ඔහු එහි වියළි තණකොළ දමන්නේ ත් වෙයි. වියළි ගොම දමන්නේ ත් වෙයි. වියළි දර දමන්නේ ත් වෙයි. මුවින් සුළඟ දෙන්නේ ත් වෙයි. පස් නොඉසින්නේ ත් වෙයි. ඒ පුරුෂයා ස්වල්ප වූ ගින්න දල්වා ගන්නට සමර්ථ වන්නේ ද?” “එසේ ය, ස්වාමීනී.”

එසෙයින් ම මහණෙනි, යම් අවස්ථාවක සිත සැඟවුණේ නම් ඒ අවස්ථාව ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සිත සැඟ වී ගිය නිසා ය. මේ ධර්මයන් තුළින් සිත සැඟවී යෑම මැනැවින් ගොඩට ගත හැක්කේ වෙයි.

මහණෙනි, යම් අවස්ථාවක සිත නොසංසුන් වූයේ නම් ඒ අවස්ථාව ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සිත නොසංසුන් වී ඇති නිසා ය. එය මේ ධර්මයන්ගෙන් සංසිඳවිය නොහැක්කේ ය.

මහණෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් මහත් වූ ගින්නක් නිවනු කැමැත්තේ වෙයි. ඔහු එහි වියළි තණකොළ දමන්නේ ත් වෙයි. වියළි ගොම දමන්නේ ත් වෙයි. වියළි දර දමන්නේ ත් වෙයි. මුවින් සුළඟ දෙන්නේ ත් වෙයි. පස් නොඉසින්නේ ත් වෙයි. ඒ පුරුෂයා මහත් වූ ගින්න නිවා ගන්නට සමර්ථ වන්නේ ද?” “ස්වාමීනී, එය නොවේ ම ය.”

එසෙයින් ම මහණෙනි, යම් අවස්ථාවක සිත නොසංසුන් වූයේ නම් ඒ අවස්ථාව ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සිත නොසංසුන් වී ඇති නිසා ය. එය මේ ධර්මයන්ගෙන් සංසිඳවිය නොහැක්කේ ය.

මහණෙනි, යම් අවස්ථාවක සිත නොසංසුන් වූයේ නම් ඒ අවස්ථාව පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සිත නොසංසුන් වී ඇති නිසා ය. එය මේ ධර්මයන්ගෙන් මැනැවින් සංසිඳී යන්නේ වෙයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් මහත් වූ ගින්නක් නිවනු කැමැත්තේ වෙයි. ඔහු එහි අමු තණකොළ දමන්නේ ත් වෙයි. අමු ගොම දමන්නේ ත් වෙයි. අමු දර දමන්නේ ත් වෙයි. තෙත සුළඟ දෙන්නේ ත් වෙයි. පස් ඉසින්නේ ත් වෙයි. ඒ පුරුෂයා මහත් වූ ගින්න නිවා ගන්නට සමර්ථ වන්නේ ද?” “එසේ ය, ස්වාමීනී.”

එසෙයින් ම මහණෙනි, යම් අවස්ථාවක සිත නොසංසුන් වූයේ නම් ඒ අවස්ථාව පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සිත නොසංසුන් වී ඇති නිසා ය. එය මේ ධර්මයන්ගෙන් මැනැවින් සංසිඳී යන්නේ වෙයි.

මහණෙනි, සිහිය වනාහී හැමතන්හිදී ම තිබිය යුතු යැයි මම පවසමි.

සාදු! සාදු!! සාදු!!!

අග්ගි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-6-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M