සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.6.2. පරියාය සුත්තං

2.6.2. ධර්ම ක්‍රමය ගැන වදාළ දෙසුම

එකල්හී බොහෝ භික්ෂූහු පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන සැවැත් නුවර පිඬු පිණිස පිවිසියාහු ය. ඉක්බිති ඒ භික්ෂූන්ට මේ අදහස ඇතිවූයේ ය. ‘සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන්නට තව ම වේලාසන වැඩි ය. එහෙයින් අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය වෙත යන්නෙමු නම් මැනැවැ’ යි.

ඉක්බිති ඒ භික්ෂූහු අන්‍ය තීර්ථක පිරිවැජියන්ගේ ආරාමය කරා ගියහ. ගොස් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හා සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු පිළිසඳර කථාව නිමා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූන්ට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය පැවසූහ.

“ආයුෂ්මත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයින්ට මෙසේ ධර්මය දෙසත් නොවැ. එනම්, ‘එව් මහණෙනි, ඔබ සිත කෙලෙසන, ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට, සප්ත බොජ්ඣංගයන් ඒ වූ සැටියෙන් ම වඩව්’ යනුවෙනි. ආයුෂ්මත්නි, අපි ත් ශ්‍රාවකයන්ට ඔය අයුරින් ධර්මය දෙසමු. එනම් ‘එව් ආයුෂ්මත්නි, ඔබ සිත කෙලෙසන, ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට, සප්ත බොජ්ඣංගයන් ඒ වූ සැටියෙන් ම වඩව්’ යනුවෙනි.

ආයුෂ්මත්නි, මෙහිලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ හෝ අපගේ හෝ ධර්ම දේශනාවෙන් ධර්ම දේශනාව වේවා, අනුශාසනාවෙන් අනුශාසනාව වේවා, කවර විශේෂයක් ද? කවර අදහසක් ද? කවර නානත්වයක් ද?”

එකල්හී ඒ භික්ෂූහු ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ප්‍රකාශය නොපිළිගත්තාහු ය. ප්‍රතික්ෂේප නොකළාහු ය. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ‘භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ පැවසූ කරුණෙහි අර්ථය දැනගන්නෙමු’ යි හුනස්නෙන් නැගිට පිටත් ව ගියාහු ය.

ඉක්බිති ඒ භික්ෂූහු සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, මෙහිලා අපි පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන සැවැත් නුවර පිඬු පිණිස පිවිසියෙමු. ස්වාමීනී, ඉක්බිති අපට මේ අදහස ඇතිවූයේ ය. ‘සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන්නට තව ම වේලාසන වැඩි ය. එහෙයින් අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය වෙත යන්නෙමු නම් මැනැවැ’ යි.

ස්වාමීනී, ඉක්බිති ඒ අපි අන්‍ය තීර්ථක පිරිවැජියන්ගේ ආරාමය කරා ගියෙමු. ගොස් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හා සතුටු වුණෙමු. සතුටු විය යුතු සිහි කටයුතු පිළිසඳර කථාව නිමා කොට එකත්පස් ව හිඳගතිමු. ස්වාමීනී, එකත්පස් ව හුන් අපට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය පැවසූහ.

“ආයුෂ්මත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයින්ට මෙසේ ධර්මය දෙසත් නොවැ. එනම්, ‘එව් මහණෙනි, ඔබ සිත කෙලෙසන, ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට, සප්ත බොජ්ඣංගයන් ඒ වූ සැටියෙන් ම වඩව්’ යනුවෙනි. ආයුෂ්මත්නි, අපි ත් ශ්‍රාවකයන්ට ඔය අයුරින් ධර්මය දෙසමු. එනම් ‘එව් ආයුෂ්මත්නි, ඔබ සිත කෙලෙසන, ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට, සප්ත බොජ්ඣංගයන් ඒ වූ සැටියෙන් ම වඩව්’ යනුවෙනි.

ආයුෂ්මත්නි, මෙහිලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ හෝ අපගේ හෝ ධර්ම දේශනාවෙන් ධර්ම දේශනාව වේවා, අනුශාසනාවෙන් අනුශාසනාව වේවා, කවර විශේෂයක් ද? කවර අදහසක් ද? කවර නානත්වයක් ද?”

ස්වාමීනී, එකල්හී අපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ප්‍රකාශය නොපිළිගත්තෙමු. ප්‍රතික්ෂේප නොකළෙමු. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ‘භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ පැවසූ කරුණෙහි අර්ථය දැනගන්නෙමු’ යි හුනස්නෙන් නැගිට පිටත් ව ගියෙමු.”

“මහණෙනි, ඔය අයුරින් පවසන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දිය යුත්තේ ය. ‘ආයුෂ්මත්නි, යම් ධර්ම ක්‍රමයකට පැමිණ පංච නීවරණ දස අයුරු වන ක්‍රමයක් ඇත්තේ ද? සප්ත බොජ්ඣංගයන් දහහතර අයුරු වන ක්‍රමයක් ඇත්තේ ද?’ මහණෙනි, මෙසේ විමසූ විට අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ පිළිතුරු දෙන්නට නොහැකිවන්නාහු ය. මත්තෙහි වෙහෙසට පත්වන්නාහු ය. ඒ මක් නිසා ද යත්, තමන්ට විෂය නොවන කරුණු අරභයා යම් සේ අසන ලද්දේ ද, එසේ ය.

මහණෙනි, තථාගතයන් විසින් හෝ තථාගත ශ්‍රාවකයෙකු විසින් හෝ මෙයින් අසා ඉගෙන ගත් කෙනෙකුන් හෝ හැර යමෙක් මේ ප්‍රශ්නයන් විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම්, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි එබඳු කෙනෙකු මම නොදකිමි.

මහණෙනි, යම් ධර්ම ක්‍රමයකට පැමිණ පංච නීවරණයන් දස අයුරු වෙත් නම්, ඒ ධර්ම ක්‍රමය කුමක් ද? මහණෙනි, ආධ්‍යාත්මික යම් කාමච්ඡන්දයක් ඇද්ද, එය ද නීවරණයකි. බාහිර යම් කාමච්ඡන්දයක් ඇද්ද, එය ද නීවරණයකි. මෙසේ මෙය කාමච්ඡන්ද නීවරණය යන ගණනට යයි. මේ ධර්ම ක්‍රමයෙන් මෙය දෙකක් වෙයි.

මහණෙනි, ආධ්‍යාත්මික යම් ව්‍යාපාදයක් ඇද්ද, එය ද නීවරණයකි. බාහිර යම් ව්‍යාපාදයක් ඇද්ද, එය ද නීවරණයකි. මෙසේ මෙය ව්‍යාපාද නීවරණය යන ගණනට යයි. මේ ධර්ම ක්‍රමයෙන් මෙය දෙකක් වෙයි.

මහණෙනි, යම් සිතෙහි කම්මැලිකමක් ඇද්ද, එය ද නීවරණයකි. යම් නිදිමතක් ඇද්ද, එය ද නීවරණයකි. මෙසේ මෙය ථීනමිද්ධ නීවරණය යන ගණනට යයි. මේ ධර්ම ක්‍රමයෙන් මෙය දෙකක් වෙයි.

මහණෙනි, යම් උද්ධච්චයක් ඇද්ද, එය ද නීවරණයකි. යම් කුකුසක් ඇද්ද, එය ද නීවරණයකි. මෙසේ මෙය උද්ධච්ච කුක්කුච්ච නීවරණය යන ගණනට යයි. මේ ධර්ම ක්‍රමයෙන් මෙය දෙකක් වෙයි.

මහණෙනි, ආධ්‍යාත්මික ධර්මයන් පිළිබඳ ව සැකයක් ඇද්ද, එය ද නීවරණයකි. බාහිර ධර්මයන් පිළිබඳ ව සැකයක් ඇද්ද, එය ද නීවරණයකි. මෙසේ මෙය විචිකිච්ඡා නීවරණය යන ගණනට යයි. මේ ධර්ම ක්‍රමයෙන් මෙය දෙකක් වෙයි.

මහණෙනි, යම් ධර්ම ක්‍රමයකට පැමිණ පංච නීවරණයන් දස අයුරු වෙත් නම්, ඒ ධර්ම ක්‍රමය මෙය යි.

මහණෙනි, යම් ධර්ම ක්‍රමයකට පැමිණ සප්ත බොජ්ඣංගයන් දහහතර අයුරු වෙත් නම්, ඒ ධර්ම ක්‍රමය කුමක් ද?

මහණෙනි, ආධ්‍යාත්මික ධර්මයන් පිළිබඳ ව යම් සිහියක් ඇද්ද, එය ත් සති සම්බොජ්ඣංගය යි. බාහිර ධර්මයන් පිළිබඳ ව යම් සිහියක් ඇද්ද, එය ත් සති සම්බොජ්ඣංගය යි. මෙසේ මෙය සති සම්බොජ්ඣංගය යන ගණනට යයි. මේ ධර්ම ක්‍රමයෙන් මෙය දෙකක් වෙයි.

මහණෙනි, ආධ්‍යාත්මික ධර්මයන් පිළිබඳ ව යම් ප්‍රඥාවෙන් විමසීමක් ඇද්ද, සෙවීමක් ඇද්ද, මැනැවින් විමසා බැලීමක් ඇද්ද, එය ත් ධම්මවිචය සම්බොජ්ඣංගය යි. බාහිර ධර්මයන් පිළිබඳ ව යම් ප්‍රඥාවෙන් විමසීමක් ඇද්ද, සෙවීමක් ඇද්ද, මැනැවින් විමසා බැලීමක් ඇද්ද, එය ත් ධම්මවිචය සම්බොජ්ඣංගය යි. මෙසේ මෙය ධම්මවිචය සම්බොජ්ඣංගය යන ගණනට යයි. මේ ධර්ම ක්‍රමයෙන් මෙය දෙකක් වෙයි.

මහණෙනි, යම් කායික වීරියක් ඇද්ද, එය ත් විරිය සම්බොජ්ඣංගය යි. යම් චෛතසික වීරියක් ඇද්ද, එය ත් විරිය සම්බොජ්ඣංගය යි. මෙසේ මෙය විරිය සම්බොජ්ඣංගය යන ගණනට යයි. මේ ධර්ම ක්‍රමයෙන් මෙය දෙකක් වෙයි.

මහණෙනි, විතර්ක සහිත විචාර සහිත යම් ප්‍රීතියක් ඇද්ද, එය ත් ප්‍රීති සම්බොජ්ඣංගය යි. විතර්ක රහිත විචාර රහිත යම් ප්‍රීතියක් ඇද්ද, එය ත් ප්‍රීති සම්බොජ්ඣංගය යි. මෙසේ මෙය ප්‍රීති සම්බොජ්ඣංගය යන ගණනට යයි. මේ ධර්ම ක්‍රමයෙන් මෙය දෙකක් වෙයි.

මහණෙනි, යම් කායික සැහැල්ලුවක් ඇද්ද, එය ත් පස්සද්ධි සම්බොජ්ඣංගය යි. යම් මානසික සැහැල්ලුවක් ඇද්ද, එය ත් පස්සද්ධි සම්බොජ්ඣංගය යි. මෙසේ මෙය පස්සද්ධි සම්බොජ්ඣංගය යන ගණනට යයි. මේ ධර්ම ක්‍රමයෙන් මෙය දෙකක් වෙයි.

මහණෙනි, විතර්ක සහිත විචාර සහිත යම් සමාධියක් ඇද්ද, එය ත් සමාධි සම්බොජ්ඣංගය යි. විතර්ක රහිත විචාර රහිත යම් සමාධියක් ඇද්ද, එය ත් සමාධි සම්බොජ්ඣංගය යි. මෙසේ මෙය සමාධි සම්බොජ්ඣංගය යන ගණනට යයි. මේ ධර්ම ක්‍රමයෙන් මෙය දෙකක් වෙයි.

මහණෙනි, ආධ්‍යාත්මික ධර්මයන් පිළිබඳ ව යම් උපේක්ෂාවක් ඇද්ද, එය ත් උපෙක්ඛා සම්බොජ්ඣංගය යි. බාහිර ධර්මයන් පිළිබඳ ව යම් උපේකෂාවක් ඇද්ද, එය ත් උපෙක්ඛා සම්බොජ්ඣංගය යි. මෙසේ මෙය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන ගණනට යයි. මේ ධර්ම ක්‍රමයෙන් මෙය දෙකක් වෙයි.

මහණෙනි, යම් ධර්ම ක්‍රමයකට පැමිණ සප්ත බොජ්ඣංගයන් දහහතර අයුරු වෙත් නම්, ඒ ධර්ම ක්‍රමය මෙය යි.

සාදු! සාදු!! සාදු!!!

පරියාය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-6-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M