සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.4.3. කිලේස සුත්තං

2.4.3. කෙලෙස් ගැන වදාළ දෙසුම

මහණෙනි, යම් උපක්ලේශයකින් කිලුටට පත් වෙන රත්‍රන් මෘදු ත් නොවෙයි නම්, කර්මණ්‍ය ත් නොවෙයි නම්, ප්‍රභාෂ්වර ත් නොවෙයි නම්, බිඳෙන සුළු ත් වෙයි නම්, ආභරණ තැනීමට මැනැවින් සුදුසු නොවෙයි නම්, එබඳු වූ මේ රත්‍රන්වලට උපක්ලේශ පසකි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, යම් උපක්ලේශයකින් කිලුටට පත් වෙන රත්‍රන් මෘදු ත් නොවෙයි නම්, කර්මණ්‍ය ත් නොවෙයි නම්, ප්‍රභාෂ්වර ත් නොවෙයි නම්, බිඳෙන සුළු ත් වෙයි නම්, ආභරණ තැනීමට මැනැවින් සුදුසු නොවෙයි නම්, යකඩ රත්‍රන් වලට ඇති උපක්ලේශයකි. ….(පෙ)…. මහණෙනි, තඹ පිත්තල ආදී ලෝහ රත්‍රන් වලට ඇති උපක්ලේශයකි. ….(පෙ)…. මහණෙනි, කළු ඊයම් රත්‍රන් වලට ඇති උපක්ලේශයකි. ….(පෙ)…. මහණෙනි, සුදු ඊයම් රත්‍රන් වලට ඇති උපක්ලේශයකි. මහණෙනි, යම් උපක්ලේශයකින් කිලුටට පත් වෙන රත්‍රන් මෘදු ත් නොවෙයි නම්, කර්මණ්‍ය ත් නොවෙයි නම්, ප්‍රභාෂ්වර ත් නොවෙයි නම්, බිඳෙන සුළු ත් වෙයි නම්, ආභරණ තැනීමට මැනැවින් සුදුසු නොවෙයි නම්, රිදී රත්‍රන් වලට ඇති උපක්ලේශයකි.

මහණෙනි, යම් උපක්ලේශයකින් කිලුටට පත් වෙන රත්‍රන් මෘදු ත් නොවෙයි නම්, කර්මණ්‍ය ත් නොවෙයි නම්, ප්‍රභාෂ්වර ත් නොවෙයි නම්, බිඳෙන සුළු ත් වෙයි නම්, ආභරණ තැනීමට මැනැවින් සුදුසු නොවෙයි නම්, මේ ඒ රත්‍රන්වලට ඇති උපක්ලේශයන් පස යි.

එසෙයින් ම මහණෙනි, යම් උපක්ලේශයකින් කිලුටට පත් වෙන සිත මෘදු ත් නොවෙයි නම්, කර්මණ්‍ය ත් නොවෙයි නම්, ප්‍රභාෂ්වර ත් නොවෙයි නම්, බිඳෙන සුළු ත් වෙයි නම්, ආශ්‍රවයන් ක්ෂය වීමට මැනැවින් සමාධිමත් නොවෙයි නම්, එබඳු වූ මේ සිතට ඇති උපක්ලේශ පසකි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, යම් උපක්ලේශයකින් කිලුටට පත් වෙන සිත මෘදු ත් නොවෙයි නම්, කර්මණ්‍ය ත් නොවෙයි නම්, ප්‍රභාෂ්වර ත් නොවෙයි නම්, බිඳෙන සුළු ත් වෙයි නම්, ආශ්‍රවයන් ක්ෂය වීමට මැනැවින් සමාධිමත් නොවෙයි නම්, කාමච්ඡන්දය සිතට ඇති උපක්ලේශයකි. ….(පෙ)…. මහණෙනි, ව්‍යාපාදය සිතට ඇති උපක්ලේශයකි. ….(පෙ)…. මහණෙනි, ථීනමිද්ධය සිතට ඇති උපක්ලේශයකි. ….(පෙ)…. මහණෙනි, උද්ධච්ච කුක්කුච්චය සිතට ඇති උපක්ලේශයකි. මහණෙනි, යම් උපක්ලේශයකින් කිලුටට පත් වෙන සිත මෘදු ත් නොවෙයි නම්, කර්මණ්‍ය ත් නොවෙයි නම්, ප්‍රභාෂ්වර ත් නොවෙයි නම්, බිඳෙන සුළු ත් වෙයි නම්, ආශ්‍රවයන් ක්ෂය වීමට මැනැවින් සමාධිමත් නොවෙයි නම්, විචිකිච්ඡාව සිතට ඇති උපක්ලේශයකි.

මහණෙනි, යම් උපක්ලේශයකින් කිලුටට පත් වෙන සිත මෘදු ත් නොවෙයි නම්, කර්මණ්‍ය ත් නොවෙයි නම්, ප්‍රභාෂ්වර ත් නොවෙයි නම්, බිඳෙන සුළු ත් වෙයි නම්, ආශ්‍රවයන් ක්ෂය වීමට මැනැවින් සමාධිමත් නොවෙයි නම්, එබඳු වූ මේ සිතට ඇති උපක්ලේශ පස යි.

සාදු! සාදු!! සාදු!!!

කිලේස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M