සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.1.2. කාය සුත්තං

2.1.2. කය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ……..

මහණෙනි, යම් සේ මේ කය ආහාරයෙන් පවතියි ද, ආහාරය හේතු කොට පවතියි ද, ආහාර නැති ව නොපවතියි ද, එසෙයින් ම මහණෙනි, පංච නීවරණයෝ ආහාරයෙන් පවතිත්. ආහාර හේතු කොට පවතිත්. ආහාර නැති ව නොපවතිත්.

මහණෙනි, නූපන් කාමච්ඡන්දයෙහි ඉපදීම පිණිස ත්, උපන් කාමච්ඡන්දය බොහෝ සෙයින් බලවත් වීම පිණිස ත්, ආහාරය වන්නේ කුමක් ද? මහණෙනි, සුභ නිමිත්තක් ඇත්තේ ය. ඒ පිළිබඳ ව නුවණින් තොර ව බහුල ව මෙනෙහි කිරීමක් ඇද්ද, නූපන් කාමච්ඡන්දය ඉපදීම පිණිස ත්, උපන් කාමච්ඡන්දය බොහෝ සෙයින් බලවත් වීම පිණිස ත්, මෙය ආහාරය වෙයි.

මහණෙනි, නූපන් ද්වේෂයෙහි ඉපදීම පිණිස ත්, උපන් ද්වේෂය බොහෝ සෙයින් බලවත් වීම පිණිස ත්, ආහාරය වන්නේ කුමක් ද? මහණෙනි, පටිඝ නිමිත්තක් ඇත්තේ ය. ඒ පිළිබඳ ව නුවණින් තොර ව බහුල ව මෙනෙහි කිරීමක් ඇද්ද, නූපන් ද්වේෂය ඉපදීම පිණිස ත්, උපන් ද්වේෂය බොහෝ සෙයින් බලවත් වීම පිණිස ත්, මෙය ආහාරය වෙයි.

මහණෙනි, නූපන් ථීනමිද්ධයෙහි ඉපදීම පිණිස ත්, උපන් ථීනමිද්ධය බොහෝ සෙයින් බලවත් වීම පිණිස ත්, ආහාරය වන්නේ කුමක් ද? මහණෙනි, හුදෙකලා වාසයේ ත්, කුසල් දහම්වල ත් නොඇලෙන බව හෙවත් අරතියක් ඇත්තේ ය. කම්මැලිකමක් ඇත්තේ ය. ඈනුම් ඇරීමක් ඇත්තේ ය. බත්මතයක් ඇත්තේ ය. සිතෙහි හැකිලීමක් ඇත්තේ ය. ඒ පිළිබඳ ව නුවණින් තොර ව බහුල ව මෙනෙහි කිරීමක් ඇද්ද, නූපන් ථීනමිද්ධය ඉපදීම පිණිස ත්, උපන් ථීනමිද්ධය බොහෝ සෙයින් බලවත් වීම පිණිස ත්, මෙය ආහාරය වෙයි.

මහණෙනි, නූපන් උද්ධච්ච කුක්කුච්චයෙහි ඉපදීම පිණිස ත්, උපන් උද්ධච්ච කුක්කුච්චය බොහෝ සෙයින් බලවත් වීම පිණිස ත්, ආහාරය වන්නේ කුමක් ද? මහණෙනි, සිතෙහි නොසංසිඳීමක් ඇත්තේ ය. ඒ පිළිබඳ ව නුවණින් තොර ව බහුල ව මෙනෙහි කිරීමක් ඇද්ද, නූපන් උද්ධච්ච කුක්කුච්චයෙහි ඉපදීම පිණිස ත්, උපන් උද්ධච්ච කුක්කුච්චය බොහෝ සෙයින් බලවත් වීම පිණිස ත්, මෙය ආහාරය වෙයි.

මහණෙනි, නූපන් විචිකිච්ඡාවෙහි ඉපදීම පිණිස ත්, උපන් විචිකිච්ඡාව බොහෝ සෙයින් බලවත් වීම පිණිස ත්, ආහාරය වන්නේ කුමක් ද? මහණෙනි, සැකය උපදවන කරුණු ඇත්තේ ය. ඒ පිළිබඳ ව නුවණින් තොර ව බහුල ව මෙනෙහි කිරීමක් ඇද්ද, නූපන් විචිකිච්ඡාව ඉපදීම පිණිස ත්, උපන් විචිකිච්ඡාව බොහෝ සෙයින් බලවත් වීම පිණිස ත්, මෙය ආහාරය වෙයි.

මහණෙනි, යම් සේ මේ කය ආහාරයෙන් පවතියි ද, ආහාරය හේතු කොට පවතියි ද, ආහාර නැති ව නොපවතියි ද, එසෙයින් ම මහණෙනි, මේ පංච නීවරණයෝ ආහාරයෙන් පවතිත්. ආහාර හේතු කොට පවතිත්. ආහාර නැති ව නොපවතිත්.

මහණෙනි, යම් සේ මේ කය ආහාරයෙන් පවතියි ද, ආහාරය හේතු කොට පවතියි ද, ආහාර නැති ව නොපවතියි ද, එසෙයින් ම මහණෙනි, සප්ත බොජ්ඣංගයෝ ආහාරයෙන් පවතිත්. ආහාර හේතු කොට පවතිත්. ආහාර නැති ව නොපවතිත්.

මහණෙනි, නූපන් සති සම්බොජ්ඣංගයෙහි ඉපදීම පිණිස ත්, උපන් සති සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ත් ආහාරය වන්නේ කුමක් ද? මහණෙනි, සති සම්බොජ්ඣංගයට හිත වූ කරුණු ඇත්තේ ය. ඒ පිළිබඳ ව නුවණින් යුක්ත ව බහුල ව මෙනෙහි කිරීමක් ඇද්ද, නූපන් සති සම්බොජ්ඣංගය ඉපදීම පිණිස ත්, උපන් සතිසම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ත්, මෙය ආහාරය වෙයි.

මහණෙනි, නූපන් ධම්මවිචය සම්බොජ්ඣංගයෙහි ඉපදීම පිණිස ත්, උපන් ධම්මවිචය සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ත් ආහාරය වන්නේ කුමක් ද? මහණෙනි, කුසලාකුසල ධර්මයන්, වැරදි – නිවැරදි ධර්මයන්, හීන – ප්‍රණීත ධර්මයන්, කළු – සුදු පැහැ ගත් ධර්මයන් ඇත්තේ ය. ඒ පිළිබඳ ව නුවණින් යුක්ත ව බහුල ව මෙනෙහි කිරීමක් ඇද්ද, නූපන් ධම්මවිචය සම්බොජ්ඣංගය ඉපදීම පිණිස ත්, උපන් ධම්මවිචය සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ත්, මෙය ආහාරය වෙයි.

මහණෙනි, නූපන් විරිය සම්බොජ්ඣංගයෙහි ඉපදීම පිණිස ත්, උපන් විරිය සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ත් ආහාරය වන්නේ කුමක් ද? මහණෙනි, පටන් ගන්නා වීරියක් ඇත්තේ ය. අලස බවින් නික්මුණු වීරියක් ඇත්තේ ය. බලවත් ලෙස දැඩි ව උපදවා ගන්නා වීරියක් ඇත්තේ ය. ඒ පිළිබඳ ව නුවණින් යුක්ත ව බහුල ව මෙනෙහි කිරීමක් ඇද්ද, නූපන් විරිය සම්බොජ්ඣංගය ඉපදීම පිණිස ත්, උපන් විරිය සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ත්, මෙය ආහාරය වෙයි.

මහණෙනි, නූපන් පීති සම්බොජ්ඣංගයෙහි ඉපදීම පිණිස ත්, උපන් පීති සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ත් ආහාරය වන්නේ කුමක් ද? මහණෙනි, පීති සම්බොජ්ඣංගයට හිත වූ කරුණු ඇත්තේ ය. ඒ පිළිබඳ ව නුවණින් යුක්ත ව බහුල ව මෙනෙහි කිරීමක් ඇද්ද, නූපන් පීති සම්බොජ්ඣංගය ඉපදීම පිණිස ත්, උපන් පීති සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ත්, මෙය ආහාරය වෙයි.

මහණෙනි, නූපන් පස්සද්ධි සම්බොජ්ඣංගයෙහි ඉපදීම පිණිස ත්, උපන් පස්සද්ධි සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ත් ආහාරය වන්නේ කුමක් ද? මහණෙනි, කයෙහි සැහැල්ලු බව ත්, සිතෙහි සැහැල්ලු බව ත් ඇත්තේ ය. ඒ පිළිබඳ ව නුවණින් යුක්ත ව බහුල ව මෙනෙහි කිරීමක් ඇද්ද, නූපන් පස්සද්ධි සම්බොජ්ඣංගය ඉපදීම පිණිස ත්, උපන් පස්සද්ධි සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ත්, මෙය ආහාරය වෙයි.

මහණෙනි, නූපන් සමාධි සම්බොජ්ඣංගයෙහි ඉපදීම පිණිස ත්, උපන් සමාධි සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ත් ආහාරය වන්නේ කුමක් ද? මහණෙනි, සමථ නිමිත්ත ත්, ඒකාග්‍ර නිමිත්ත ත් ඇත්තේ ය. ඒ පිළිබඳ ව නුවණින් යුක්ත ව බහුල ව මෙනෙහි කිරීමක් ඇද්ද, නූපන් සමාධි සම්බොජ්ඣංගය ඉපදීම පිණිස ත්, උපන් සමාධි සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ත්, මෙය ආහාරය වෙයි.

මහණෙනි, නූපන් උපෙක්ඛා සම්බොජ්ඣංගයෙහි ඉපදීම පිණිස ත්, උපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ත් ආහාරය වන්නේ කුමක් ද? මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගයට හිත වූ කරුණු ඇත්තේ ය. ඒ පිළිබඳ ව නුවණින් යුක්ත ව බහුල ව මෙනෙහි කිරීමක් ඇද්ද, නූපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය ඉපදීම පිණිස ත්, උපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ත්, මෙය ආහාරය වෙයි.

මහණෙනි, යම් සේ මේ කය ආහාරයෙන් පවතියි ද, ආහාරය හේතු කොට පවතියි ද, ආහාර නැති ව නොපවතියි ද, එසෙයින් ම මහණෙනි, මේ සප්ත බොජ්ඣංගයෝ ආහාරයෙන් පවතිත්. ආහාර හේතු කොට පවතිත්. ආහාර නැති ව නොපවතිත්.

සාදු! සාදු!! සාදු!!!

කාය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M