සැවැත් නුවර දී ය ……..
මහණෙනි, හිමාල පර්වත රාජයා ඇසුරු කොට නාගයෝ කය වර්ධනය කරගනිති. බලය වැඩි කරගනිති. ඔවුහු එහි කය වඩා, බලය වැඩිකොට ගෙන කුඩා දිය වළට බසිති. කුඩා දිය වළට බැස මහා දිය වළට බසිති. මහා දිය වළට බැස කුඩා ගංගාවලට බසිති. කුඩා ගංගාවලට බැස මහා ගංගාවලට බසිති. මහා ගංගාවලට බැස මහා සමුද්‍රය නම් වූ සාගරයට බසිති. එහිදී ඔවුහු කයෙන් විශාලත්වයට ත්, විපුලත්වයට ත් පැමිණෙති. එසෙයින් ම මහණෙනි, භික්ෂුවක් සීලය නිසා, සීලයෙහි පිහිටා සප්ත බොජ්ඣංගයන් වඩන්නේ, සප්ත බොජ්ඣංගයන් බහුල කරන්නේ, බෝධිපාක්ෂික ධර්මයන් තුළ මහත් සේ දියුණු වී, විපුල බවට පත්වෙයි.
මහණෙනි, භික්ෂුව සීලය නිසා, සීලයෙහි පිහිටා බෝධි පාක්ෂික ධර්මයන් තුළ මහත් සේ දියුණු වී, විපුල බවට පත්වන ලෙසින් සප්ත බොජ්ඣංගයන් දියුණු කරන්නේ, සප්ත බොජ්ඣංගයන් බහුල ව ප්‍රගුණ කරන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, සති සම්බොජ්ඣංගය දියුණු කරයි.
කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, ධම්මවිචය සම්බොජ්ඣංගය දියුණු කරයි.
කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, විරිය සම්බොජ්ඣංගය දියුණු කරයි.
කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, පීති සම්බොජ්ඣංගය දියුණු කරයි.
කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, පස්සද්ධි සම්බොජ්ඣංගය දියුණු කරයි.
කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, සමාධි සම්බොජ්ඣංගය දියුණු කරයි.
කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, උපෙක්ඛා සම්බොජ්ඣංගය දියුණු කරයි.
මහණෙනි, භික්ෂුව සීලය නිසා, සීලයෙහි පිහිටා බෝධි පාක්ෂික ධර්මයන් තුළ මහත් සේ දියුණු වී, විපුල බවට පත්වන ලෙසින් මෙසේ සප්ත බොජ්ඣංගයන් දියුණු කරයි. මෙසේ සප්ත බොජ්ඣංගයන් බහුල ව ප්‍රගුණ කරයි.
සාදු! සාදු!! සාදු!!!
හිමවන්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M