එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාවෙහි මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන විසල් පුරට පිඬු පිණිස පිවිසියහ. එහිදී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ බොහෝ ලිච්ඡවී කුමාරවරුන් සන්ථාගාරයෙහි සිට පුහුණුවීම් කරන්නාහු කුඩා සිදුරකින් ඊතල පසුකෙළවරින් කෙළවර නොවරදවා දුරින් ම ඊතලය ඈතට විදින අයුරු දුටහ. දැක, උන්වහන්සේට මෙසේ සිතුණේ ය. ‘ඒකාන්තයෙන් මේ ලිච්ඡවි කුමාරවරු හික්මුණාහු ය. ඒකාන්තයෙන් මේ ලිච්ඡවි කුමාරවරු මැනැවින් හික්මුණාහු ය. යම් තැනක දී නම් කුඩා සිදුරකින් ඊතල පසුකෙළවරින් කෙළවර නොවරදවා දුරින් ම ඊතලය ඈතට විදිනවා නොවැ’ යි.
ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ විසල්පුර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. ….(පෙ)…. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, මම මෙහි පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන විසල් පුරට පිඬු පිණිස පිවිසියෙමි. එහිදී ස්වාමීනී, මම බොහෝ ලිච්ඡවී කුමාරවරුන් සන්ථාගාරයෙහි සිට පුහුණුවීම් කරන්නාහු කුඩා සිදුරකින් ඊතල පසුකෙළවරින් කෙළවර නොවරදවා දුරින් ම ඊතලය ඈතට විදින අයුරු දැක්කෙමි. දැක, මට මෙසේ සිතුණේ ය. ‘ඒකාන්තයෙන් මේ ලිච්ඡවි කුමාරවරු හික්මුණාහු ය. ඒකාන්තයෙන් මේ ලිච්ඡවි කුමාරවරු මැනැවින් හික්මුණාහු ය. යම් තැනක දී නම් කුඩා සිදුරකින් ඊතල පසුකෙළවරින් කෙළවර නොවරදවා දුරින් ම ඊතලය ඈතට විදිනවා නොවැ’ යි.”
“ආනන්දයෙනි, ඒ කිමෙකැයි සිතන්නෙහි ද? වඩාත් ම දුෂ්කර හෝ වඩාත් ම අමාරුවෙන් විය හැකි දේ කුමක් ද? යමෙක් කුඩා සිදුරකින් ඊතල පසුකෙළවරින් කෙළවර නොවරදවා දුරින් ම ඊතලය ඈතට විදින එක ද? යමෙක් සියක් වරකට පළන ලද අස් ලොමෙහි කෙළවරින් කෙළවරට විදින එක ද?”
“ස්වාමීනී, යමෙක් සියක් වරකට පළන ලද අස් ලොමෙහි කෙළවරින් කෙළවරට විදින්නේ නම්, එය ම අතිශයින් ම දුෂ්කර වෙයි. එය ම අතිශයින් ම අමාරුවෙන් විය හැකි දෙයකි.”
“ආනන්දයෙනි, යම් කෙනෙක් ‘මෙය දුක යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ‘මෙය දුක හටගැනීම යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරත් ද, ඔවුහු වනාහී අවබෝධයට අතිශයින් ම දුෂ්කර වූවක් ම අවබෝධ කරති.”
එහෙයින් ආනන්දයෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
වාල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M