සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.3.9. පරිඤ්ඤෙය්‍ය සුත්තං

12.3.9. පිරිසිඳ දත යුතු දේ ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ සතරක් වූ ආර්ය සත්‍යයෝ ය. ඒ කවර සතරක් ද යත්;

දුක්ඛාර්ය සත්‍යය ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය ය.

මහණෙනි, මේ වනාහී සතරක් වූ ආර්ය සත්‍යයෝ ය. මහණෙනි, මේ සතරක් වූ ආර්ය සත්‍යයන් අතර පිරිසිඳ දැක්ක යුතු ආර්ය සත්‍යයක් ඇත්තේ ය. ප්‍රහාණය කළ යුතු ආර්ය සත්‍යයක් ඇත්තේ ය. සාක්ෂාත් කළ යුතු ආර්ය සත්‍යයක් ඇත්තේ ය. ප්‍රගුණ කළ යුතු ආර්ය සත්‍යයක් ඇත්තේ ය.

මහණෙනි, පිරිසිඳ දැක්ක යුතු ආර්ය සත්‍යය කුමක් ද? මහණෙනි, දුක්ඛ ආර්ය සත්‍යය පිරිසිඳ දැක්ක යුත්තේ ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ප්‍රහාණය කළ යුත්තේ ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය සාක්ෂාත් කළ යුත්තේ ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය වැඩිය යුත්තේ ය.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

පරිඤ්ඤෙය්‍ය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M