සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.3.10. ගවම්පති සුත්තං

12.3.10. ගවම්පති තෙරණුවෝ වදාළ දෙසුම

එක් සමයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු චේති ජනපදයෙහි සහජාති භූමියෙහි වැඩවෙසෙති. එසමයෙහි පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී මණ්ඩලමාලයෙහි රැස් ව හුන් බොහෝ ස්ථවිර භික්ෂූන් අතර මේ කථාව හටගත්තේ ය.

“ඇවැත්නි, යමෙක් වනාහී දුක දකියි නම්, ඔහු දුකෙහි හටගැනීම ත් දකියි. දුකෙහි නිරුද්ධ වීම ත් දකියි. දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ත් දකියි.”

මෙසේ කී කල්හී ආයුෂ්මත් ගවම්පති තෙරණුවෝ ස්ථවිර භික්ෂූන්ට මෙය පැවසූහ.

“ඇවැත්නි, මෙකරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. එනම්;

‘මහණෙනි, යමෙක් දුක දකියි නම්, ඔහු දුකෙහි හටගැනීම ත් දකියි. දුකෙහි නිරුද්ධ වීම ත් දකියි. දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ත් දකියි.

යමෙක් දුකෙහි හටගැනීම දකියි නම්, ඔහු දුක ත් දකියි. දුකෙහි නිරුද්ධ වීම ත් දකියි. දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ත් දකියි.

යමෙක් දුකෙහි නිරුද්ධ වීම දකියි නම්, ඔහු දුක ත් දකියි. දුකෙහි හටගැනීම ත් දකියි. දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ත් දකියි.

යමෙක් දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දකියි නම්, ඔහු දුක ත් දකියි. දුකෙහි හටගැනීම ත් දකියි. දුකෙහි නිරුද්ධ වීම ත් දකියි’ යනුවෙනි.”

සාදු! සාදු!! සාදු!!!

ගවම්පති සූත්‍රය නිමා විය.

තුන්වෙනි කෝටිගාම වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

කෝටිගාම සූත්‍ර දෙක, අභිසම්බුද්ධ සූත්‍රය, අරහන්ත සූත්‍රය, ආසවක්ඛය සූත්‍රය, මිත්ත සූත්‍රය, තථ සූත්‍රය, ලෝක සූත්‍රය, පරිඤ්ඤෙය්‍ය සූත්‍රය සහ ගවම්පති සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M