මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ‘මෙය දුක යැ’ යි ඒ වූ සැටියෙන් ම නොදනිත් ද, ‘මෙය දුක හටගැනීම යැ’ යි ඒ වූ සැටියෙන් ම නොදනිත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම යැ’ යි ඒ වූ සැටියෙන් ම නොදනිත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැ’ යි ඒ වූ සැටියෙන් ම නොදනිත් ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ශ්රමණයන් අතර ශ්‍රමණයෝ යැයි සම්මත නොවෙති. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයෝ යැයි සම්මත නොවෙති. ඒ ආයුෂ්මත්වරු වනාහී ශ්‍රමණ බවෙහි අර්ථය හෝ බ්‍රාහ්මණ බවෙහි අර්ථය හෝ මේ ජීවිතයේ දී ම සිය විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට පැමිණ වාසය නොකරති.
මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ‘මෙය දුක යැ’ යි ඒ වූ සැටියෙන් ම දනිත් ද, ‘මෙය දුක හටගැනීම යැ’ යි ඒ වූ සැටියෙන් ම දනිත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම යැ’ යි ඒ වූ සැටියෙන් ම දනිත් ද, ‘මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැ’ යි ඒ වූ සැටියෙන් ම දනිත් ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ශ්රමණයන් අතර ශ්‍රමණයෝ යැයි සම්මත වෙති. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයෝ යැයි සම්මත වෙති. ඒ ආයුෂ්මත්වරු වනාහී ශ්‍රමණ බවෙහි අර්ථය ත්, බ්‍රාහ්මණ බවෙහි අර්ථය ත් මේ ජීවිතයේ දී ම සිය විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට පැමිණ වාසය කරති.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය ද වදාළ සේක.
“යම් කෙනෙක් දුක අවබෝධ නොකරත් ද, එමෙන් ම දුකෙහි හටගැනීම ත් අවබෝධ නොකරත් ද, යම් තැනක සියළු අයුරින් ඉතිරි නැති ව දුක නිරුද්ධ වෙයි නම්, එය ද අවබෝධ නොකරත් ද,
දුක සංසිඳවීම පිණිස පවතින ඒ මාර්ගය ත් අවබෝධ නොකරත් ද, ඔවුහු චිත්ත විමුක්තියෙන් හීන වූවෝ ය. එමෙන් ම ප්‍රඥා විමුක්තියෙන් තොර වූවෝ ය.
ඔවුහු දුක් අවසන් කිරීමට නුසුදුස්සෝ ය. ඒකාන්තයෙන් ඔවුහු ඉපදීමට, ජරාවට පැමිණෙති.
යම් කෙනෙක් දුක අවබෝධ කරත් ද, එමෙන් ම දුකෙහි හටගැනීම ත් අවබෝධ කරත් ද, යම් තැනක සියළු අයුරින් ඉතිරි නැති ව දුක නිරුද්ධ වෙයි නම්, එය ද අවබෝධ කරත් ද,
දුක සංසිඳවීම පිණිස පවතින ඒ මාර්ගය ත් අවබෝධ කරත් ද, ඔවුහු චිත්ත විමුක්තියෙන් යුක්ත වූවෝ ය. එමෙන් ම ප්‍රඥා විමුක්තියෙන් යුක්ත වූවෝ ය.
ඔවුහු දුක් අවසන් කිරීමට සුදුස්සෝ ය. ඔවුහු ඉපදීමට, ජරාවට නොපැමිණෙති.
සාදු! සාදු!! සාදු!!!
දුතිය කෝටිගාම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M