සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.3.10. නන්දක සුත්තං

11.3.10. නන්දක ලිච්ඡවි මහා ඇමති හට වදාළ දෙසුම

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාවෙහි මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හී නන්දක ලිච්ඡවි මහාමාත්‍යයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් නන්දක ලිච්ඡවි මහාමාත්‍යයා හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“නන්දකයෙනි, සතර ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන් පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි. ඒ කවර සතර ධර්මයකින් ද යත්;

නන්දකයෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි’ යනුවෙනි. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි.

නන්දකයෙනි, මේ සතර ධර්මයෙන් යුක්ත වූ ආර්යශ්‍රාවකයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන් පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි.

නන්දකයෙනි, මේ සතර ධර්මයෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා දිව්‍ය වූ ත්, මානුෂික වූ ත් ආයුෂයෙන් යුතු වූයේ වෙයි. ….(පෙ)…. වර්ණයෙන් ….(පෙ)…. සැපයෙන් ….(පෙ)…. යස පිරිවරින් යුක්ත වූයේ වෙයි. දිව්‍ය වූ ත්, මානුෂික වූ ත් අධිපතිභාවයෙන් යුක්ත වූයේ වෙයි. නන්දකයෙනි, මම මෙකරුණ අන්‍ය වූ ශ්‍රමණයෙකුගෙන් හෝ බ්‍රාහ්මණයෙකුගෙන් හෝ අසා නොකියමි. හුදෙක් මා විසින් යමක් තමා ම දන්නා ලද්දේ ද, තමා ම දක්නා ලද්දේ ද, තමා ම අවබෝධ කරන ලද්දේ ද, එය ම මම කියමි.”

මෙසේ වදාළ කල්හී එක්තරා පුරුෂයෙක් නන්දක ලිච්ඡවි මහාමාත්‍යයා හට මෙය පැවසුවේ ය.

“හිමියනි, ස්නානයට කාලය යි.”

“බොල, ඔය බාහිර ස්නානයෙන් දැන් ඵලක් නැත්තේ ය. යම් මේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇද්ද, මේ ආධ්‍යාත්මික ස්නානය ම ප්‍රමාණවත් වන්නේ ය.”

සාදු! සාදු!! සාදු!!!

නන්දක සූත්‍රය නිමා විය.

තෙවෙනි සරකානි වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

මහානාම සූත්‍ර තුන, සරකානි සූත්‍ර දෙක, අනාථපිණ්ඩික සූත්‍ර තුන, භික්ඛු සූත්‍රය සහ නන්දක සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M