සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.2.8. දේවචාරික සුත්තං

11.2.8. දෙව්ලොව වැඩම කොට වදාළ දෙසුම

එක් සමයෙක්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙති. එකල්හී ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගු කරන්නේ යම් සේ ද, දික් කළ අතක් හකුලන්නේ යම් සේ ද, එසෙයින් ම ජේතවනයෙන් නොපෙනී ගොස් තව්තිසා දෙවියන් අතර පහළ වූහ. ඉක්බිති තව්තිසාවැසි බොහෝ දේවතාවෝ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ වෙත පැමිණියාහු ය. පැමිණ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්තාහු ය. එකත්පස් ව සිටගත් ඒ දේවතාවන්ට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ මෙය වදාළහ.

“ඇවැත්නි, බුදුරජුන් කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. එනම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ඇවැත්නි, බුදුරජුන් කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමට පත්වීම හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති.

ඇවැත්නි, ධර්මය කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනැවින් ධර්මය වදාරණ ලද්දේ ය. ….(පෙ)…. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දත යුත්තේ ය’ වශයෙනි. ඇවැත්නි, ධර්මය කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමට පත්වීම හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති.

ඇවැත්නි, ආර්ය සංඝයා කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි’ වශයෙනි. ඇවැත්නි, ආර්ය සංඝයා කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමට පත්වීම හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති.

ඇවැත්නි, ‘කඩ නොවූ සිල් පද ඇති ….(පෙ)…. සමාධිය පිණිස පවතින ආර්යකාන්ත සීලයෙන් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. ඇවැත්නි, ආර්යකාන්ත සීලයෙන් යුක්ත වීම හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති.”

“මොග්ගල්ලාන නිදුකාණෙනි, බුදුරජුන් කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. එනම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මොග්ගල්ලාන නිදුකාණෙනි, බුදුරජුන් කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමට පත්වීම හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති.

මොග්ගල්ලාන නිදුකාණෙනි, ධර්මය කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනැවින් ධර්මය වදාරණ ලද්දේ ය. ….(පෙ)…. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දත යුත්තේ ය’ වශයෙනි. මොග්ගල්ලාන නිදුකාණෙනි, ධර්මය කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමට පත්වීම හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති.

මොග්ගල්ලාන නිදුකාණෙනි, ආර්ය සංඝයා කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි’ වශයෙනි. මොග්ගල්ලාන නිදුකාණෙනි, ආර්ය සංඝයා කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමට පත්වීම හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති.

මොග්ගල්ලාන නිදුකාණෙනි, ‘කඩ නොවූ සිල් පද ඇති ….(පෙ)…. සමාධිය පිණිස පවතින ආර්යකාන්ත සීලයෙන් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. මොග්ගල්ලාන නිදුකාණෙනි, ආර්යකාන්ත සීලයෙන් යුක්ත වීම හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති.”

සාදු! සාදු!! සාදු!!!

දේවචාරික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M