සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.2.7. දුතිය මිත්තාමච්ච සුත්තං

11.2.7. මිතුරු යහළුවන් ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, යම් පිරිසකට අනුකම්පා කරන්නහු නම්, යම් කෙනෙකුත් ඔබගේ වචනයට ඇහුම්කන් දිය යුතු යැයි සිතන්නාහු නම්, මිතුරෝ වෙත්වා, යහළුවෝ වෙත්වා, ඥාතීහු වෙත්වා, ලේ ඥාතීහු වෙත්වා, මහණෙනි, ඔබ විසින් ඒ සියල්ලෝ සතර සෝතාපත්ති අංගයන් තුළ සමාදන් කරවිය යුත්තාහු ය. ඇතුල්කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය. ඒ කවර කරුණු සතරක් තුළ ද යත්;

බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙහි සමාදන් කරවිය යුත්තාහු ය. ඇතුල්කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය. එනම් ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මහණෙනි, සතර මහාභූතයන් වන පඨවි ධාතුවෙහි, ආපෝ ධාතුවෙහි, තේජෝ ධාතුවෙහි, වායෝ ධාතුවෙහි අන්‍ය ස්වභාවයක් ඇති වෙන්නට පුළුවනි. එසේ නමුත් බුදුරජුන් කෙරෙහි නිසැක ව නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා තුළ වෙනත් ස්වභාවයකට පත්වීමක් නැත්තේ ය. මේ වනාහී එහිලා වෙනත් ස්වභාවයකට පත්වීම යි. එනම්, ‘ඒකාන්තයෙන් ඒ ආර්ය ශ්‍රාවකයා බුදුරජුන් කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත ව සිට නිරයේ වේවා, තිරිසන් යෝනියේ වේවා, ප්‍රේත විෂයේ වේවා උපදින්නේ ය යන කරුණ කිසිදා සිදුවන දෙයක් නම් නොවෙයි’

ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙහි සමාදන් කරවිය යුත්තාහු ය. ඇතුල්කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය. එනම් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද බැවින් ධර්මය ස්වාක්ඛාත වෙයි. සන්දිට්ඨික වෙයි. අකාලික වෙයි. ඒහිපස්සික වෙයි. ඕපනයික වෙයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වෙයි’ යනුවෙනි. මහණෙනි, සතර මහාභූතයන් වන පඨවි ධාතුවෙහි, ආපෝ ධාතුවෙහි, තේජෝ ධාතුවෙහි, වායෝ ධාතුවෙහි අන්‍ය ස්වභාවයක් ඇති වෙන්නට පුළුවනි. එසේ නමුත් ධර්මය කෙරෙහි නිසැක ව නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා තුළ වෙනත් ස්වභාවයකට පත්වීමක් නැත්තේ ය. මේ වනාහී එහිලා වෙනත් ස්වභාවයකට පත්වීම යි. එනම්, ‘ඒකාන්තයෙන් ඒ ආර්ය ශ්‍රාවකයා ධර්මය කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත ව සිට නිරයේ වේවා, තිරිසන් යෝනියේ වේවා, ප්‍රේත විෂයේ වේවා උපදින්නේ ය යන කරුණ කිසිදා සිදුවන දෙයක් නම් නොවෙයි’

සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙහි සමාදන් කරවිය යුත්තාහු ය. ඇතුල්කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය. එනම්

‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ උජුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඤායපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සාමීචිපටිපන්න වෙයි. යම් මේ පුරුෂ යුගල සතරක් ද, පුරුෂ පුද්ගල අටක් ද වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වෙයි’ යනුවෙනි. මහණෙනි, සතර මහාභූතයන් වන පඨවි ධාතුවෙහි, ආපෝ ධාතුවෙහි, තේජෝ ධාතුවෙහි, වායෝ ධාතුවෙහි අන්‍ය ස්වභාවයක් ඇති වෙන්නට පුළුවනි. එසේ නමුත් ආර්ය සංඝයා කෙරෙහි නිසැක ව නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා තුළ වෙනත් ස්වභාවයකට පත්වීමක් නැත්තේ ය. මේ වනාහී එහිලා වෙනත් ස්වභාවයකට පත්වීම යි. එනම්, ‘ඒකාන්තයෙන් ඒ ආර්ය ශ්‍රාවකයා ආර්ය සංඝයා කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත ව සිට නිරයේ වේවා, තිරිසන් යෝනියේ වේවා, ප්‍රේත විෂයේ වේවා උපදින්නේ ය යන කරුණ කිසිදා සිදුවන දෙයක් නම් නොවෙයි’

‘නොකැඩුණු සිල්පද ඇති, සිදුරු නොවුණු, පැල්ලම් නොගැසුණු, කබර නොගැසුණු, තෘෂ්ණා දෘෂ්ටියකට දාස නොවූ, නුවණැත්තන් පසසන ලද, දෘෂ්ටියකට බැඳීමෙන් යුක්ත නොවූ, සමාධිය පිණිස පවතින, ආර්යකාන්ත සීලයෙහි සමාදන් කරවිය යුත්තාහු ය. ඇතුල්කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය.

මහණෙනි, සතර මහාභූතයන් වන පඨවි ධාතුවෙහි, ආපෝ ධාතුවෙහි, තේජෝ ධාතුවෙහි, වායෝ ධාතුවෙහි අන්‍ය ස්වභාවයක් ඇති වෙන්නට පුළුවනි. එසේ නමුත් ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා තුළ වෙනත් ස්වභාවයකට පත්වීමක් නැත්තේ ය. මේ වනාහී එහිලා වෙනත් ස්වභාවයකට පත්වීම යි. එනම්, ‘ඒකාන්තයෙන් ඒ ආර්ය ශ්‍රාවකයා ආර්යකාන්ත සීලයෙන් යුක්ත ව සිට නිරයේ වේවා, තිරිසන් යෝනියේ වේවා, ප්‍රේත විෂයේ වේවා උපදින්නේ ය යන කරුණ කිසිදා සිදුවන දෙයක් නම් නොවෙයි’ යනුවෙන් මහණෙනි, යම් පිරිසකට අනුකම්පා කරන්නහු නම්, යම් කෙනෙකුත් ඔබගේ වචනයට ඇහුම්කන් දිය යුතු යැයි සිතන්නාහු නම්, මිතුරෝ වෙත්වා, යහළුවෝ වෙත්වා, ඥාතීහු වෙත්වා, ලේ ඥාතීහු වෙත්වා, මහණෙනි, ඔබ විසින් ඒ සියල්ලෝ මේ සතර සෝතාපත්ති අංගයන් තුළ සමාදන් කරවිය යුත්තාහු ය. ඇතුල්කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය මිත්තාමච්ච සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M