එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ද, සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙති. එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් ආනන්දයන් වෙත පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් හට මෙය පැවසූහ.
“ඇවැත් ආනන්දයෙනි, කොතෙක් වූ ධර්මයන්ගේ ප්‍රහාණයෙන්, කොතෙක් වූ ධර්මයන්ගෙන් යුක්ත වීමෙන් මෙසේ මේ ප්‍රජාවෝ සිව් අපායෙන් මිදුණාහු, නියත වශයෙන් නිවන පිහිට කොට, සෝවාන් වෙති යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක් ද?”
“ඇවැත්නි, සතර ධර්මයක් ප්රහාණය වීමෙන්, සතර ධර්මයකින් යුක්ත වීමෙන් මෙසේ මේ ප්‍රජාවෝ සිව් අපායෙන් මිදුණාහු, නියත වශයෙන් නිවන පිහිට කොට, සෝවාන් වෙති යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ කවර සතරකින් ද යත්;
ඇවැත්නි, අශ්‍රැතවත් පෘථග්ජනයා බුදුරජුන් කෙරෙහි යම්බඳු වූ අපැහැදීමකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, බුදුරජුන් කෙරෙහි එබඳු වූ අප්‍රසාදයක් ඔහු තුළ නැත්තේ වෙයි.
ඇවැත්නි, ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා බුදුරජුන් කෙරෙහි යම්බඳු වූ නිසැක බවට පත් නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදියි නම්, බුදුරජුන් කෙරෙහි එබඳු වූ නොසෙල්වෙන ප්‍රසාදයක් ඔහු හට ඇත්තේ වෙයි. එනම්; ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි.
ඇවැත්නි, අශ්‍රැතවත් පෘථග්ජනයා ධර්මය කෙරෙහි යම්බඳු වූ අපැහැදීමකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, ධර්මය කෙරෙහි එබඳු වූ අප්‍රසාදයක් ඔහු තුළ නැත්තේ වෙයි.
ඇවැත්නි, ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා ධර්මය කෙරෙහි යම්බඳු වූ නිසැක බවට පත් නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදියි නම්, ධර්මය කෙරෙහි එබඳු වූ නොසෙල්වෙන ප්‍රසාදයක් ඔහු හට ඇත්තේ වෙයි. එනම්; ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද බැවින් ධර්මය ස්වාක්ඛාත වෙයි. සන්දිට්ඨික වෙයි. අකාලික වෙයි. ඒහිපස්සික වෙයි. ඕපනයික වෙයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වෙයි’ යනුවෙනි.
ඇවැත්නි, අශ්‍රැතවත් පෘථග්ජනයා ආර්ය සංඝයා කෙරෙහි යම්බඳු වූ අපැහැදීමකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, ආර්ය සංඝයා කෙරෙහි එබඳු වූ අප්‍රසාදයක් ඔහු තුළ නැත්තේ වෙයි.
ඇවැත්නි, ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා ආර්ය සංඝයා කෙරෙහි යම්බඳු වූ නිසැක බවට පත් නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදියි නම්, ආර්ය සංඝයා කෙරෙහි එබඳු වූ නොසෙල්වෙන ප්‍රසාදයක් ඔහු හට ඇත්තේ වෙයි. එනම්; ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ උජුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඤායපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සාමීචිපටිපන්න වෙයි. යම් මේ පුරුෂ යුගල සතරක් ද, පුරුෂ පුද්ගල අටක් ද වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වෙයි’ යනුවෙනි.
ඇවැත්නි, අශ්‍රැතවත් පෘථග්ජනයා යම්බඳු වූ දුස්සීල බවින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, එබඳු වූ දුස්සීල බවක් ඔහු තුල නැත්තේ වෙයි.
ඇවැත්නි, ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා යම්බඳු වූ ආර්යකාන්ත සීලයෙන් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදියි නම්, එබඳු වූ ආර්යකාන්ත සීලයක් ඔහු හට ඇත්තේ වෙයි. එනම්; නොකැඩුණු සිල්පද ඇති, සිදුරු නොවුණු, පැල්ලම් නොගැසුණු, කබර නොගැසුණු, තෘෂ්ණා දෘෂ්ටියකට දාස නොවූ, නුවණැත්තන් පසසන ලද, දෘෂ්ටියකට බැඳීමෙන් යුක්ත නොවූ, සමාධිය පිණිස පවතින, ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූයේ වෙයි.
ඇවැත්නි, මේ සතර ධර්මයන් ප්රහාණය වීමෙන්, මේසතර ධර්මයෙන් යුක්ත වීමෙන් මෙසේ මේ ප්‍රජාවෝ සිව් අපායෙන් මිදුණාහු, නියත වශයෙන් නිවන පිහිට කොට, සෝවාන් වෙති යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.”
සාදු! සාදු!! සාදු!!!
ආනන්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M