මහණෙනි, බ්‍රාහ්මණවරු උදයගාමිනී නමින් ප්‍රතිපදාවක් පණවති. ඔවුහු ශ්‍රාවකයා මෙසේ සමාදන් කරවති. ‘එම්බා පුරුෂය, එව. නුඹ කලින් ම නැගිට නැගෙනහිර දෙසට මුහුණලා යව. ඒ නුඹ ඉදිරියට හමුවෙන වල මගහරින්නට එපා! ප්‍රපාතය මගහරින්නට එපා! කණුව මගහරින්නට එපා! කටුබිම මගහරින්නට එපා! අසුචි සොරොව්ව මගහරින්නට එපා! ගවරවල මගහරින්නට එපා! යම් තැනක නුඹ වැටෙන්නෙහි නම්, එතැනදී ම මරණයට පත්වන්නෙහි ය. එම්බා පුරුෂය, මෙසේ නුඹ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදින්නේ ය.’
මහණෙනි, බ්‍රාහ්මණයන්ගේ ඒ මේ ගමන වනාහී අඥාන වූ ගමනකි. මුලාවට පත් වූ ගමනකි. මෙය අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු නොවෙයි. නොඇල්ම පිණිස හේතු නොවෙයි. ඇල්ම නිරුද්ධ වීම පිණිස හේතු නොවෙයි. කෙලෙස් සංසිඳීම පිණිස හේතු නොවෙයි. විශිෂ්ට ඥානය පිණිස හේතු නොවෙයි. සත්‍යාවබෝධය පිණිස හේතු නොවෙයි. නිවන පිණිස හේතු නොවෙයි.
මහණෙනි, යම් ප්‍රතිපදාවක් ඒකාන්තයෙන් අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙයි ද, නොඇල්ම පිණිස හේතු වෙයි ද, ඇල්ම නිරුද්ධ වීම පිණිස හේතු වෙයි ද, කෙලෙස් සංසිඳීම පිණිස හේතු වෙයි ද, විශිෂ්ට ඥානය පිණිස හේතු වෙයි ද, සත්‍යාවබෝධය පිණිස හේතු වෙයි ද, නිවන පිණිස හේතු වෙයි ද, මම ත් වනාහී ආර්ය විනයෙහිලා උදයගාමිනී ප්‍රතිපදාවක් පණවමි. එය යි. මහණෙනි, යම් ප්‍රතිපදාවක් ඒකාන්තයෙන් අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙයි නම්, ….(පෙ)…. නිවන පිණිස හේතු වෙයි නම්, ඒ
උදයගාමිනී ප්‍රතිපදාව කුමක් ද?
මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි.
මහණෙනි, යම් ප්‍රතිපදාවක් ඒකාන්තයෙන් අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙයි නම්, නොඇල්ම පිණිස හේතු වෙයි නම්, ඇල්ම නිරුද්ධ වීම පිණිස හේතු වෙයි නම්, කෙලෙස් සංසිඳීම පිණිස හේතු වෙයි නම්, විශිෂ්ට ඥානය පිණිස හේතු වෙයි නම්, සත්‍යාවබෝධය පිණිස හේතු වෙයි නම්, නිවන පිණිස හේතු වෙයි නම්, මෙය වනාහී ඒ උදයගාමිනී ප්‍රතිපදාව යි.
සාදු! සාදු!! සාදු!!!
බ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M