සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.1.8. ගිඤ්ජකාවසථ සුත්තං

11.1.8. ගෙඩිගෙයෙහි දී වදාළ දෙසුම

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදිකාවෙහි ගෙඩිගෙයෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සාදරයෙන් වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, නාදිකාවෙහි සිටි සාළ්හ නම් භික්ෂුව කළුරිය කළේ ය. ඔහු කොතැනක ඉපදුණේ ද? පරලොව කුමක් ද? ස්වාමීනී, නාදිකාවෙහි සිටි නන්දා නම් භික්ෂුණිය කළුරිය කළා ය. ඇයගේ උපත කුමක් ද? පරලොව කුමක් ද? ස්වාමීනී, නාදිකාවෙහි සිටි සුදත්ත නම් උපාසක කළුරිය කළේ ය. ඔහුගේ උපත කුමක් ද? පරලොව කුමක් ද? ස්වාමීනී, නාදිකාවෙහි සිටි සුජාතා නම් උපාසිකාව කළුරිය කළා ය. ඇයගේ උපත කුමක් ද? පරලොව කුමක් ද?

“ආනන්දයෙනි, කලුරිය කළ සාළ්හ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළේ ය. ආනන්දයෙනි, කලුරිය කළ නන්දා භික්ෂුණිය

ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් ඕපපාතික ව සුද්ධාවාස බඹලොව ඉපිද ඒ ලොවින් නැවත මෙහි හැරී නොඑන සුළු ව එහි පිරිනිවෙන්නී ය. ආනන්දයෙනි, කලුරිය කළ සුදත්ත උපාසක සංයෝජන තුනක් ගෙවා දැමීමෙන්, රාග – ද්වේෂ – මෝහ තුනී කිරීමෙන් සකදාගාමී වූයේ එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ය. ආනන්දයෙනි, කලුරිය කළ සුජාතා උපාසිකාව සංයෝජන තුනක් ගෙවා දැමීමෙන් සෝවාන් ව, අපායට නොවැටෙන සුළු ව, නියත වශයෙන් ම නිවන පිහිට කොට සිටියා ය.

ආනන්දයෙනි, මනුෂ්‍ය ව උපන්නෙක් කළුරිය කරන්නේ ය යන යමක් ඇද්ද, මෙය ආශ්චර්යයක් නොවෙයි. ඉදින් ඒ ඒ මිනිසා කළුරිය කළ කල්හී මා වෙත එළැඹ එහි අරුත් විමසන්නහු නම්, ආනන්දයෙනි, එය තථාගතයන් හට වෙහෙසක් ම ය. එහෙයින් ආනන්දයෙනි, යම් ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා කැමති නම් ‘නිරයෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. තිරිසන් ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. ප්‍රේත ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. අපාය දුගතියෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. සෝවාන් වූවෙක්මි. අපායට නොවැටෙනසුළු වෙමි. නියතයෙන් ම නිවන පිහිට කොට ඇත්තෙමි’ යි තමා ම තමා ගැන කියයි ද, එබඳු වූ ‘දහම් කැඩපත’ නැමැති ධර්ම ක්‍රමයක් දේශනා කරන්නෙමි.

ආනන්දයෙනි, යම් ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා කැමති නම් ‘නිරයෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. තිරිසන් ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. ප්‍රේත ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. අපාය දුගතියෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. සෝවාන් වූවෙක්මි. අපායට නොවැටෙනසුළු වෙමි. නියතයෙන් ම නිවන පිහිට කොට ඇත්තෙමි’ යි තමා ම තමා ගැන කියයි ද, එබඳු වූ ‘දහම් කැඩපත’ නැමැති ධර්ම ක්‍රමය කුමක් ද?

ආනන්දයෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි.

ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද බැවින් ධර්මය ස්වාක්ඛාත වෙයි. සන්දිට්ඨික වෙයි. අකාලික වෙයි. ඒහිපස්සික වෙයි. ඕපනයික වෙයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වෙයි’ යනුවෙනි.

සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි.

‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ උජුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඤායපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සාමීචිපටිපන්න වෙයි. යම් මේ පුරුෂ යුගල සතරක් ද, පුරුෂ පුද්ගල අටක් ද වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වෙයි’ යනුවෙනි.

නොකැඩුණු සිල්පද ඇති, සිදුරු නොවුණු, පැල්ලම් නොගැසුණු, කබර නොගැසුණු, තෘෂ්ණා දෘෂ්ටියකට දාස නොවූ, නුවණැත්තන් පසසන ලද, දෘෂ්ටියකට බැඳීමෙන් යුක්ත නොවූ, සමාධිය පිණිස පවතින, ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූයේ වෙයි.

ආනන්දයෙනි, යම් ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා කැමති නම් ‘නිරයෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. තිරිසන් ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. ප්‍රේත ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. අපාය දුගතියෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. සෝවාන් වූවෙක්මි. අපායට නොවැටෙනසුළු වෙමි. නියතයෙන් ම නිවන පිහිට කොට ඇත්තෙමි’ යි තමා ම තමා ගැන කියයි ද, එබඳු වූ ‘දහම් කැඩපත’ නැමැති ඒ ධර්ම ක්‍රමය මෙය යි.”

සාදු! සාදු!! සාදු!!!

ගිඤ්ජකාවසථ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M