සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.1.2. බ්‍රහ්මචරියෝගධ සුත්තං

11.1.2. නිවන් මගට බැසගැනීම ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර ධර්මයකින් සමන්විත වූ ආර්ය ශ්‍රාවක තෙමේ සතර අපායෙන් මිදුණේ, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝවාන් වූවෙක් වෙයි. ඒ කවර සතර ධර්මයකින් ද යත්;

මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි.

ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මැනැවින් වදාරණ ලද්දේ ය. ….(පෙ)…. තමා තුළට පමුණුවා ගත යුත්තේ ය. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දැක්ක යුත්තේ ය’ යනුවෙනි.

සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙයි’ යනුවෙනි.

ආර්යකාන්ත සීලයකින් යුක්ත වූයේ වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින, සීලයෙන් යුක්ත වෙයි.

මහණෙනි, මේ සතර ධර්මයෙන් සමන්විත වූ ආර්ය ශ්‍රාවක තෙමේ සතර අපායෙන් මිදුණේ, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝවාන් වූවෙක් වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය වදාළ සේක.

(ගාථාවකි)

යමෙකුන් තුළ ශ්‍රද්ධාව ත්, සීලය ත්, සංඝයා කෙරෙහි පැහැදීම ත්, ධර්මාවබෝධය ත් ඇද්ද, ඔවුහු නිවන් මගට බැසගත් සැපයෙන් යුතුව සුදුසු කල්හී ඒකාන්තයෙන් නිවනට පැමිණෙති.

සාදු! සාදු!! සාදු!!!

බ්‍රහ්මචරියෝගධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M