සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.1.1. රාජ සුත්තං

11.1.1. සක්විති රජු මුල්කොට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය. …………

මහණෙනි, සක්විති රජෙක් සිව්මහා දිවයින්වලට අධිපති ව සිට රාජ්‍යය කොට කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපන්න ත්, තව්තිසා දෙවියන් හා එක්වීමට පැමිණිය ත් ඔහු එහි නන්දන වනයෙහි දිව්‍ය අප්සරා සමූහය පිරිවරාගෙන, දිව්‍ය වූ පංචකාම ගුණයන් වටකොට, ඒවා හා එක් ව ඒවා පිරිවරා වාසය කළ ත්, ඔහු සතර ධර්මයකින් සමන්විත නොවුණේ ය. එනිසාවෙන් ඔහු නිරයෙන් නොමිදුණේ ය. තිරිසන් යෝනියෙන් නොමිදුණේ ය. ප්‍රේත විෂයෙන් නොමිදුණේ ය. අපාය දුර්ගති විනිපාතයෙන් නොමිදුණේ ය.

මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ පිඬු සිඟා යැපෙන දෙයකින් යැපුණ ත්, කඩමාළු රෙදිවලින් මසාගත් දෙය පෙරෙව්ව ත්, ඔහු සතර ධර්මයකින් සමන්විත වූයේ ය. එනිසාවෙන් ඔහු නිරයෙන් මිදුණේ ය. තිරිසන් යෝනියෙන් මිදුණේ ය. ප්‍රේත විෂයෙන් මිදුණේ ය. අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණේ ය.

ඒ කවර සතර ධර්මයකින් ද යත්; මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි.

ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මැනැවින් වදාරණ ලද්දේ ය. එය මේ ජීවිතයේදී ම තමා විසින් දැක්ක යුතුය. කල් නොයවා ඵල දෙයි. ඇවිත් බලන්න යැයි කිව හැක්කේ ය. තමා තුළට පමුණුවා ගත යුත්තේ ය. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දැක්ක යුත්තේ ය’ යනුවෙනි.

සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ උජුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඥායපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සාමීචිපටිපන්න වෙයි. පුරුෂ යුගල සතරකින් ද, පුරුෂ පුද්ගල අට කෙනෙකුගෙන් ද යුතු වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලොවට උතුම් පින්කෙත වෙයි’ යනුවෙනි.

ආර්යකාන්ත සීලයකින් යුක්ත වූයේ වෙයි. නොකැඩුණු, සිදුරු නැති, පැල්ලම් නැති, කැලැල් නැති, තෘෂ්ණා දාස භාවයෙන් මිදුණු, නුවණැත්තන් විසින් පසසන ලද, බාහිර දෘෂ්ටීන්ට ගැති නොවූ, සමාධිය පිණිස පවතින, සීලයෙන් යුක්ත වෙයි. මේ සතර ධර්මයන්ගෙන් සමන්විත වෙයි.

මහණෙනි, යම් සිව්මහා දිවයින්හි අධිපති බව ලැබීමක් ඇද්ද, යම් සතර ධර්මයන්ගේ ලැබීමක් ඇද්ද, සිව්මහා දිවයින්හි අධිපති බව ලැබීම සතර ධර්මයන්ගේ ලැබීම හා සසඳා බලද්දී සොලොස් කලාවෙන් එක් කලාවකුදු එය නොවටියි.

සාදු! සාදු!! සාදු!!!

රාජ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M