සංයුත්ත නිකාය

මහා වග්ගෝ

10.2.4. දුතිය ආනන්ද සුත්තං

10.2.4. ආනන්ද තෙරුන්ට වදාළ දෙවෙනි දෙසුම

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. ….(පෙ)…. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ආනන්දයෙනි, එක් ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සතර ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සතර ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සප්ත ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සප්ත ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ධර්ම දෙකක් සම්පූර්ණ වෙයි නම්, එබඳු වූ එක් ධර්මයක් ඇත්තේ ද?”

“ස්වාමීනී, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ ….(පෙ)….

“ආනන්දයෙනි, එක් ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සතර ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සතර ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සප්ත ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සප්ත ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ධර්ම දෙකක් සම්පූර්ණ වෙයි නම්, එබඳු වූ එක් ධර්මයක් ඇත්තේ ය.”

“ආනන්දයෙනි, එක් ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සතර ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සතර ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සප්ත ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සප්ත ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ධර්ම දෙකක් සම්පූර්ණ වෙයි නම්, එබඳු වූ එක් ධර්මය කුමක් ද?”

“ආනන්දයෙනි, ආනාපානසති සමාධිය නම් වූ එක් ධර්මය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සතර සතිපට්ඨානයන් සම්පූර්ණ වෙයි. සතර සතිපට්ඨානයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ වෙයි. සප්ත බොජ්ඣංගයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, විද්‍යාව ත් විමුක්තිය ත් සම්පූර්ණ වෙයි.

ආනන්දයෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසති සමාධිය සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කරයි ද?

ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයකට ගියේ හෝ රුක් සෙවණට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ ….(පෙ)…. ආනන්දයෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද සප්ත බොජ්ඣංගයෝ විද්‍යාව ත්, විමුක්තිය ත් සම්පූර්ණ කරත්.

(පළමු සූත්‍රය මෙන් මෙසේ විස්තර කළ යුත්තේ ය)

සාදු! සාදු!! සාදු!!!

දුතිය ආනන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M